ඩයනාට මන්ත්‍රී ධුරය අහිමිවෙයි : සජබ මන්ත්‍රීවරුන් ද අවධානමේ !

ඩයනාට මන්ත්‍රී ධුරය අහිමිවෙයි : සජබ මන්ත්‍රීවරුන් ද අවධානමේ  !

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

ඒ ඇය පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාවේදී බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස සිටි බව තහවුරු වීම හේතුවෙනි.

සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම පසුගිය මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ අපේක්ෂකයකු වූ ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව නඩු විභාගයේදී තහවුරු වූ බවයි.

එසේම රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, තම ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීමට ඇය අධිකරණය හමුවේ අසමත් වී ඇති බවත් විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89වන වගන්තිය යටතේ ශ්‍රී ලංකික පුරවැසිභාවය අහිමි අයෙකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වාදී තිබේ.

ඒ අනුව ඩයනා ගමගේ ට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් "quo warranto" රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.

මේ අතර සමාජ ක්‍රියාකාරීන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ මෙම තීන්දුවත් සමග සමගි ජන බලවේගයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය මන්ත්‍රීධූර අහිමි වීමේ අවදානමක් ඇති බවයි. ඊට හේතුව පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන අවස්ථාවේ ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ උප ලේකම් ලෙස කටයුතු කළ අතර මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති එම පක්ෂයේ නිලධාරීන්ගේ ලැයිස්තුවේද ඇයගේ නම එලෙස සඳහන්ව ඇති බවයි.

ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියෙක් පක්ෂ නිලධාරී ලැයිස්තුවේ සිටියදී එම පක්ෂය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මැතිවරණ කොමිසම පිළිගැනීම නීත්‍යානුකූල නොවන බවත් එසේම පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ඉදිරිපත් කර තිබූ බොහෝ නාමයෝජනා පත්‍ර වල පක්ෂ මහ ලේකම් වෙනුවට උප ලේකම් ඩයනා ගමගේ මහත්මිය අත්සන් කර තිබීමත් නීත්‍යානුකූල නොවන බව නීති විශාරදයින් පවසන බවද එහි සඳහන් වෙයි.

ඒ අනුව ඩයනා ගමගේ ගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කිරීමත් සමග සමගි ජන බලවේගය නියෝජනය කරමින් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීධූර අහිමි වීමේ අවදානමක් මතු වී ඇති බව නීති විශාරදයින් පවසන බවත් සඳහන් කර ඇත .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.