කුලී හේවායන් වීම ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක්

කුලී හේවායන් වීම ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක්

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත යෑම සම්බන්ධව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සිය කනස්සල්ල පළ කර තිබේ.

ඒ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලා සිටින්නේ විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත කුලී හේවා කණ්ඩායම් වෙත යොමු කරන වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසටයි.

“කුලී හේවා සටන් සම්මත යුධ උපක්‍රමයක් නොවන අතර එවන් මාර්ගයන් වෙත යොමු වීම අපගේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදුකිරීමේ දැඩි අවධානමක් ඇති කරයි.” ඔහු අවධාරණය කරයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඒ සම්බන්ධව කරන ලද ඉල්ලීම පහතින්,

 ඔබේ ගෞරවය සහ අභිමානය රැකගන්නා ශ්‍රී ලංකා හමුදා ප්‍රවීණයන් වෙත කෙරෙන ඉල්ලීමක්

ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වශයෙන් අපි අපගේ මාතෘ භූමිය පිළිබදව ගෞරවනීය හැඟීමකින් හා පක්ෂපාතීත්වයකින් බැඳී සිටින්නෙමු. එමෙන්ම, ජාතියේ යහපත වෙනුවෙන් කැපවෙමින් මාතෘ භූමිය මුහුණ දෙන සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම නිර්භීතව ඒ වෙනුවෙන් පෙනී සිටිමින් නැගී සිටින්නෙමු.

එනමුදු, කෙටි කාලීන මුදල් ඉපයීම හා තාවකාලික යස ඉසුරු සපයා ගැනීම සඳහා එම අභිමානය හා පක්ෂපාතිත්වය අත්හැර දැමීමට අප අතරින් යම් පිරිසක් පොළඹවා ගැනීමට දරනු ලබන රහසිගත උත්සාහයන් පිළිබදව මෙම කාල සීමාවේදී නිරීක්ෂණය වේ.

ශ්‍රී ලාංකීය හමුදාවන් නියෝජනය කළ විශ්‍රාමිකයින් කිහිප දෙනෙක් විවිධ විදේශීය කුලී හේවා කණ්ඩායම් නියෝජනය කිරීම සදහා විදෙස් රාජ්‍යයන් වෙත ගොස් තිබෙන බව මෑත කාලීනව පල වූ වාර්තා හා සිදුවීම් මගින් අනාවරණය වී තිබෙන කරුණකි. බොහෝ කාලයක් අපගේ මාතෘ භූමියේ පැවැත්ම වෙනුවෙන් රණකාමීන් සහ දේශප්‍රේමීන් ලෙස අභිමානනීය සේවාවක් ඉටු කළ මෙම රණ විරුවන් විවිධ පොරොන්දු සහ ලාභ ප්‍රයෝජනයන්ට මුලා වී මෙම කුලී හේවා කණ්ඩායම් සමග එක්වීමට උත්සාහ දරන තත්වයක්ද නිරීක්ෂණය වී තිබේ.

අපගේ විරෝදාර රණවිරුවන් රට වෙනුවෙන් කළ අප්‍රමාණ කැප කිරීම් කිසිදා අමතක කළ නොහැක. එසේම අනේක විධ දුෂ්කරතා විඳිමින් මාතෘ භූමිය වෙනුවෙන් ලේ වගුරවමින් අපගේ සහෝදර සෙබලුන් ඔවුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මාතෘ භූමියේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සටන් කළ අයුරු අප දැක ඇත්තෙමු.

අපගේ විරෝදාර රණවිරුවන් සතු නිර්භීතකම පුද්ගලික වාසි සඳහා වෙළඳාම් කළ යුතු භාණ්ඩයක් නොවේ; එය මාතෘභූමියේ ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් අපගේ රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ උත්තරීතර පරිත්‍යාගයකි.

 ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා WWV RWP RSP VSV USP ndc psc MPhil, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා ලෙස මෙන්ම විරෝදාර රණවිරුවන් සමඟ යුධ භූමියේ උරෙන්උර ගැටී සටන් කල ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ලෙස වර්තමානයේ ගොඩ නැගී තිබෙන මෙම ප්‍රවනතාව පිළිබද තම දැඩි කනස්සල්ල පළකර ඇත. එසේම, මෙහි ඇති භයානකත්වය හා අනතුරුදායක බව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් විවිධ කණ්ඩායම්වල පෙළඹවීම් මත මෙම කුලී හේවා කණ්ඩායම් වෙත රණවිරුවන් යොමු කිරීමේ වංචාකාරී ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් සියලුම විශ්‍රාමික රණවිරුවන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියි.

 කුලී හේවා සටන් සම්මත යුධ උපක්‍රමයක් නොවන අතර එවන් මාර්ගයන් වෙත යොමු වීම අපගේ ගෞරවනීය ශ්‍රී ලාංකීය හමුදාවන්ගේ කීර්තිනාමයට කැළලක් සිදුකිරීමේ දැඩි අවධානමක් ඇති කරයි. ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය පරාජය කළ ජයග්‍රාහී හමුදාවක සාමාජිකයන් ලෙස අප අපගේ වෘත්තියේ ගෞරවය හා අවංකභාවය ආරක්ෂා කළ යුතුය.

සැබෑ නිර්භීතකම පවතින්නේ කෙනෙකුගේ වැටුපේ ප්‍රමාණයෙන් නොව අපගේ යහපත් ප්‍රතිපත්ති හා අරමුණු වලින් සන්නද්ධ වීමෙන් බව අප වටහාගත යුතුය. තිස් වසරක් මාතෘ භූමිය වෙනුවෙන් කැපවෙමින් ජීවිත පරිත්‍යාග කළ අපගේ විරෝදාර සහෘද රණවිරුවන්ගේ පරිත්‍යාගයන්ට ගෞරව කරමින් ත්‍රිවිධ හමුදාවේ කීර්ති නාමය හා ප්‍රෞඩත්වය සුරක්ෂිත කිරීමට අපි සියලු දෙනාම කැපවෙමු.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.