බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් වෙයි

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් වෙයි

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇත.

එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සදහා නාගරික සංවර්ධන අධිකාරියට පවරන ලද්දේ වර්ෂ 2014 දීයි.එම අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්‍රතිසංවර්ධන කටයුතු ක්‍රියාත්මක කෙරෙන බවද ඇමතිවරයා කියයි.

යටත් විජිත ගෘහ නිර්මාණ ශිල්පය රැකගනිමින් බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.විවෘත හා විනෝදාත්මක පහසුකම් සහිත පරිශ්‍රය සාමාන්‍ය ජනතාව සදහා විවෘත කිරීමත් සමගින් එහි ආර්ථික වටිනාකම ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණු බව නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී ඒකනායක පවසයි.

මේ වන විටත් බන්ධනාගාර පවුර සහ ප්‍රධාන ගොඩනැගිල්ල හැරුණු විට අනෙකුත් භූමිය සංවර්ධනය සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. බන්ධනාගාර රෝහල් ගොඩනැගිල්ලෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන්ය. 2018 වන විට නාගරික සංවර්ධන අධිකාරිය බන්ධනාගාරය ඉදිරිපස කොටස හොදින් සංරක්ෂණය කරන ලද පැරණි ගොඩනැගිල්ලක් සහිත උද්‍යානයක් ලෙසට ද සංවර්ධනය කර තිබේ.

බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය ෂොපින් මෝල්, ෆුඩ් කෝට්, කෞතුකාගාරය සහ සංචාරක හෝටලය ඇතුළත් වාණිජ ගොඩනැගිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතය.බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය වාස්තු විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරමින් එය සංවර්ධනය කෙරෙන බව අධ්‍යක්ෂකවරයා කියයි.මේ සදහා නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව පෞද්ගලික ආයෝජකයෙකු තෝරාගෙන තිබේ.ඊට අදාල ඇස්තමේන්තු සකස් කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සිදුවෙමින් පවතින බවද අධ්‍යක්ෂකවරයා කියයි.

බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක් ක්‍රියාත්මක විය.2014 ජනවාරි මස 01 වන දින සිට එය වසා දැමුණු අතර එහි කටයුතු පල්ලේකැලේ නව බන්ධනාගාර පරිශ්‍රයට රැගෙන ගියහ. බෝගම්බර බන්ධනාගාරය දැනට මහජන ප්‍රදර්ශනය සදහා පමණක් විවෘතය.

බෝගම්බර බන්ධනාගාරය ඉදි කිරීමට පෙරාතුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වූයේ හැන්ග්මන්ස් හිල් (Hangmans Hill) නම් වර්තමාන මහනුවර මධ්‍යම වෙළදපොළට ඉදිරියේ පිහිටි කදු ගැටයකයි.ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වීමෙන් අනතුරුව දණ්ඩ නීති සංග්‍රහයද ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් නිර්මාණය විය.නීතිය ක්‍රියාත්මක කරවීමේ අරමුණින් බෝගම්බර වැව ගොඩ කරමින් පෝරකයක් ද සහිතව ඉංග්‍රීසීන් විසින් මෙම බන්ධනාගාරය ඉදි කරන ලද්දේ වර්ෂ 1876 දී යි. ඒ රජයේ වැඩ දෙපාර්තමේන්තුව හරහා එවක ප්‍රථම බන්ධනාගාර හා පොලිස් කොමසාරිස් වූ එන්.ආර් සෝන්ඩර්ස් මහතාගේ අධීක්ෂණය යටතේයි. රුපියල් ලක්ෂ 4 ක මූල්‍ය පිරිවැයක් දරා සිරකරුවන් 92 ක ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම බන්ධනාගාරය ඉදි කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.