නුවරඑළිය සුන්දර කඳුකරයේ සංචාරක කාර්මාන්තය පිළිබඳ ජනපති නිරීක්ෂණ චාරිකාවක.....

නුවරඑළිය සුන්දර කඳුකරයේ සංචාරක කාර්මාන්තය පිළිබඳ  ජනපති නිරීක්ෂණ චාරිකාවක.....

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත විය.

“පිකෝ ට්‍රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයකි.

“පිකෝ ට්‍රේල්” යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් 300ක පමණ කඳු නැගීමේ මාර්ගයකි. එය ආසියාවේ හොඳම රහසිගත මාර්ගවලින් එකක් ලෙස සැළකේ.

“පිකෝ ට්‍රේල්” නම් මෙම මංපෙත සුප්‍රසිද්ධ මහනුවර නගරයෙන් ආරම්භ වී දකුණු දෙසින් හැටන් සහ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය දෙසට ගමන් කරයි.ඉන්පසු එය හපුතලේ සහ ඇල්ල හරහා නැගෙනහිර දෙසට ගමන් කර සුන්දර නුවරඑළිය නගරය වටා ගමන් කර අවසන් වේ. මෙම මාර්ගය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී විශාල වතුවල සිට කර්මාන්තශාලා වෙත තේ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන ලද්දකි.

“පිකෝ ට්‍රේල්” මාර්ගය ඔස්සේ කිලෝමීටර 3.2ක පමණ දුරක් පාගමනින් ඇවිද ගිය ජනාධිපතිවරයා කෝට් ලොජ් වතුයායේ සේවයේ නිරතව සිටින කම්කරු ජනතාවගේ ද තොරතුරු විමසමින් සුහද කථා බහක නිරත විය.

එම ජනතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහව මහත් හරසරින් පිළිගත් අතර ජනාධිපතිවරයා ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තම සුබපැතුම් පිළිගැන්වීය.

බ්‍රවුන්ස් වැවිලි සමාගම යටතේ පාලනය වන කෝට් ලොජ් වතු යාය හෙක්ටයාර 264ක් වන අතර මුළු සේවක සංඛ්‍යාව 349කි. එම වතු ජනතාව මුහුණ දී සිටින අධ්‍යාපන, සෞඛ්‍ය ගැටළු ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳ සොයා බැලූ ජනාධිපතිවරයා විශේෂයෙන්ම උසස් පෙළ විභාගයෙන් පසුව පාසල් අධ්‍යාපනය අවසන් කරනු ලබන වතු කම්කරු ප්‍රජාවගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළේය.

එසේම වතු ජනතාවගේ නිවාස ගැටළුව පිළිබදව ද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමු විය.

කෝට් ලොජ් වතු යායේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවේ “ලයිට් බ්‍රයිට් – Light Bright” නම් තේ වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර එහි ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා කර්මාන්තශාලාවේ සේවක පිරිස සමඟද සුහද කතාබහක නිරත විය.

කඳු නැගීමට පැමිණෙන සංචාරකයන්ට රසවත් නැවුම් තේ කෝප්පයක් රස විදීමට අවස්ථාව නිර්මාණය කිරීම පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.

අනතුරුව “පිකෝ ට්‍රේල්” හරහා මෙරට කඳුකරය ආශ්‍රිත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හැකියාව පිළිබඳව ද ජනාධිපතිවරයා සොයා බැලීය.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතියේ නිර්මාතෘවරයා වූ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වසර ගණනාවක් පුරා කඳු තරණය කළ, ධාවන උපදේශක මිගෙල් කුනාට් (Miguel Cunat) මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම කඳු නැගීමේ ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තර සිතියමට එක් කළ හැකි බවයි.

“පිකෝ ට්‍රේල්” මං මාවත ඔස්සේ පා ගමනින් ගොස් ශ්‍රී ලංකාව පුරා විවිධ භූමි ප්‍රදේශ, මෙරට ඉතිහාසය, සංස්කෘතිය, දේශීය ආහාර පාන පිළිබඳ සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ. පිකෝ ට්‍රේල්” සංචාරක මාර්ගය අදියර 22 කින් සමන්විත වන අතර එක් දිනක් හෝ දින ගනණාවක් ගත කළ හැකි සංචාරක අත්දැකීමකි.

ශ්‍රී ලංකාවේ ජාතික සංචාරක ක්‍රමෝපායන් වෙනුවෙන් සහාය දැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක “පිකෝ ට්‍රේල්”සඳහා යුරෝපා සංගමයේ (EU) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සහාය ද ලැබී තිබෙන අතර තිරසාර පාරිසරික සංවර්ධනය වැනි කරුණු ද ඊට ඇතුළත් වේ.

ත්‍රාසජනක අත්දැකීම් සොයා යන්නන් වැනි නව සංචාරක භූමිකාවක් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම හා සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

“පිකෝ ට්‍රේල්” ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ලබාදුන් සහාය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ස්තූතිය පළ කළ මිගෙල් කුනාට් මහතා සංචාරක කර්මාන්තයේ නව පරිවර්තනයක් තුළින් මෙරට ආර්ථිකය නාගාසිටුවීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළද අගය කළේය.

{gallery}Peko Trail{/gallery}

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.