2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) ක්‍රියාවට නැංවීමට සමගාමීව රේගුව තුළ සිදු කළ යුතු නව්‍යකරණ වැඩපිළිවෙළ සහ අපනයනකරුවන් දිරිගැන්වීම වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ සහ නව්‍යකරණ කාර්යාංශය මගින් සංවිධානය කරන ලද මෙම සාකච්ඡාවේ දී අපනයන පුළුල් කිරීම සඳහා රේගුව තුළ සිදුකළ යුතු නව්‍යකරණ වැඩපිළිවෙළ පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
අපනයන බහලුම් පරීක්ෂා කරනු ලබන Export Facilitation Centre හි ධාරිතාව, පහසුකම් සහ නවීකරණ කටයුතු සිදු කර අපනයනකරුවන්ට වඩාත් පහසුවෙන් අපනයන කටයුතු සිදුකළ හැකි පරිසරය නිර්මාණය කර දෙන ලෙස මෙහි දී ජනාධිපති ලේකම්වරයා ශ්‍රී ලංකා රේගුව වෙත උපදෙස් ලබා දුන්නේ ය.
එසේම දිවයින පුරා අපනයනකරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන් අපනයන ක්ෂේත්‍රයට යොමු කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දැනට රේගුවේ කර්මාන්ත පහසුකම් අංශයේ ක්‍රියාත්මක වන TIEP (Temporary Import for Export Processing) ක්‍රියාවලිය නැවත සමාලෝචනය කර මේ වන තෙක් අපනයන සඳහා යොමු වී නොමැති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයන ක්ෂේත්‍රය සඳහා යොමු කර ගැනීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.
අපනයන ක්ෂේත්‍රය පුළුල් කිරීමේ දී, රේගු කටයුතු විමධ්‍යගත කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර යාපනය ප්‍රදේශයේ රේගු අපනයන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.
e-commerce මගින් අපනයන කටයුතු සිදු කිරීමේ දී මතුව ඇති බාධා ඉවත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ලක් වූ අතර තැපැල් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව එම කටයුතු විධිමත් කිරීමට ගතහැකි පියවර පිළිබඳව ඉදිරියේ දී සාකච්ඡා කිරීමටද තීරණය කෙරිණි.
ඩිජිටල් ක්‍රමවේද යොදා ගනිමින් අදාළ ලිපි ලේඛන සැකසීම කඩිනම් කිරීම තුළින් ගතවන කාලය සහ පිරිවැය අවම කර ගැනීම සහ අවදානම් ඇගයීමක් මගින් අවදානම් අඩු අපනයනකරුවන්ට පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
