උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක් !

උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක් !

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකුද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබා දෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩ රට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කිරීමට ඒ යටතේ කටයුතු කරන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (07) පෙරවරුවේ මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් හමුවූ අවස්ථාවේදීය.

මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට මෙහිදී උපදෙස් දුන්නේය.

උඩරට නැටුම් කලාව දේශීය මෙන්ම විදේශිය වශයෙන් ප්‍රචලිතව තිබුණද පාරම්පරික සම්ප්‍රදායන් අනුගමනය නොකිරීමේ ගැටළුව පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා නව කමිටුව මගින් ඒ පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රමවේදයක් සකස් කිරිමට උපදෙස් ලබා දෙන බවද පැවසීය.

ක්ෂේත්‍රයේ කටයුතු කිරීමේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටළු කිහිපයක් පිළිබඳව මෙහිදී මහනුවර සාම්ප්‍රදායීක නර්තන ශිල්පීන් ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර එම ගැටළු පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට මැදිහත්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම සබරගමුව නැටුම් කලාව වැනි මෙරට සම්ප්‍රදායික කලා ශිල්ප ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රටේ ආර්ථිකය නගා සිටුවමින් සියලු ජනතාවට යහපත් රටක් ගොඩනගා දීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට මෙහිදී මහනුවර සම්ප්‍රදායික නර්තන ශිල්පීන් සිය ප්‍රශංසාව පළ කළහ.

අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න