ලංකාවේ කැපවීම IMF ඇගයීමට !

ලංකාවේ කැපවීම IMF ඇගයීමට !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන ක්‍රියාත්මක කිරිමේ දී ශ්‍රී ලංකා රජය දක්වන දැඩි කැපවීම අගය කරන බවත්, එවැනි කැපකිරීම් ධනාත්මක වෙනසක් ඇති කිරීමට උපකාරි වන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer) පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) දහවල් මුදල් අමාත්‍යාංශයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී පැවති සාකච්ඡාවේදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ශ්‍රී ලංකාවේ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරන බවත්, එහි යහපත් ප්‍රතිඵල දක්නට ලැබෙන බවත් බෘවර් මහතා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු දැකීම සතුටට කරුණක් බව සඳහන් කළ ඒ මහතා ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන කැපවීම ද ප්‍රශංසාවට ලක් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙරට බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩනැඟීම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවයි.

ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙලෙස පිළිගැනීමට ලක්වීම මගින් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින ආර්ථික වර්ධනය උදා කර ගැනීමේ හවුල් දැක්ම අවධාරණය කෙරෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන් මෙහිදී ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ අනාගත දැක්ම කෙරෙහි ද සාකච්ඡාවට ලක් වූ අතර මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වයේ විවිධ අංශ පිළිබඳව ද විමසා බැලිනි.

ආර්ථික අභියෝගයන්ට මුහුණ දීමේදී සහ තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ දී දෙපාර්ශ්වය අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කෙරණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, කාර්ය මන්ඩල ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ශිරන්ත හේරත් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්‍යා ස්විරිඩ්සෙන්කා (Katya Svirydzenka), නේවාසික නියෝජිත ආචාර්ය සරවත් ජහාන් ( Dr. Sarwat Jahan), සොෆියා සැංග් (Sophia Zhang) , සන්දේශ් ධුන්ගනා (Sandesh Dhungana), හොදා සෙලිම් (Hoda Selim), දිමිත්‍රි රොස්කොව් (Dmitriy Rozhkov), මාර්ක් ඇඩම්ස් ( Mark Adams), හුයි මියෝ ( Hui Miao), සැම්සන් ක්වාලිංගන (Samson Kwalingana) සහ මානවී අබේවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම සමන්විත විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න