සජබ වාරණය තවත් දීර්ඝ වෙයි !

සජබ වාරණය තවත්  දීර්ඝ වෙයි !

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ පක්ෂ සාමාජිකත්වය, ඔහු දරන තනතුරු අත්හිටුවීම සහ විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 19 වෙනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියම කළේය.

සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා ගොනු කළ පෙත්සමක් අද (04) යළි සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම වාරණ නියෝගය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා වෙත නිකුත් කර තිබේ.

පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකාර සජබ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ අදාළ වාරණ නියෝගයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

ඉන් අනතුරුව වාරණ නියෝගය ලබන 19 වනදා දක්වා දීර්ඝ කළ අධිකරණය එදින අදාළ විරෝධතා සම්බන්ධයෙන් කරුණු සලකා බලන බවත් නිවේදනය කළේය.

පෙත්සම්කරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටින්නේ හිටපු හමුදාපති දයා රත්නායක ව සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් තම සේවාදායකයා ඊට එරෙහිව පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළවී තිබූ බවයි.

එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තම සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සහ සමග ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න