නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට නව පනත් 08ක්

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට නව පනත් 08ක්

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන වසරේ ජනවාරි මස නව පනත් අටක් සම්මත කිරීමට සූදානම් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ  පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ යුක්තිය පසිදලීමේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 18ක කාලය තුළ සම්මත කරන ලද නව නීති, අණ පනත් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

රටක් දියුණු වනවානම් එම රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වඩා වැදගත් බව අමාත්‍යවරයා විසින් සඳහන් කල අතර ආර්ථික වශයෙන් රට ප්‍රකෘත්තිමත් වන්නට පටන් ගත්තා සේම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා තමන් අධිකරණ අමාත්‍යාංශය භාරගත් දින සිට මේ දක්වා විවිධ නීති අණපනත් 45කට වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කරමින් නව නීති සකස් කිරීමට කටයුතු කල ආකාරය සහ ඉදිරි වසරේ ජනවාරි මස තවත් වැදගත් පනත් අටක් සම්මත කිරීමට සූදානම් බවත් ඉදිරියේදී අවශ්‍යතාවයන් අනුව නව අණපනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විසින් සදහන් කළේය.

අල්ලස දූෂණය නැති කිරීම සඳහා දූෂණ විරෝධී පනත වැනි පනත් සම්මත කරගැනීම තුලින් නාස්තිය හා දූෂණය අවම කරමින් රටේ දියුණුව සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වඩා යහපත් ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සම්මත කර ඇති පනත් ප්‍රමාණවත් බවත් අදාල පනත් හරහා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් වඩා යහපත් තත්වයකට රට පත් කිරීම අපහසු නොවන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

මේ දින වල දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හටද රටේ පොදු නීතියට අනුව කටයුතු කරන බවද මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.

පසුගිය කාලසීමාව තුල මෙරට ආර්ථීක වශයෙන් මෙන්ම සියළු අංශවලින් රට අරාජිකත්වයට පත්වූ අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමන් ඇතුළු සුළු පිරිසක් ඉදිරිපත් වී කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගෙන රට අරාජිකත්වයෙන් ගලවාගැනීමේ අභියෝගය භාරගත් බවත් එසේ රට භාරගෙන කටයුතු කිරීම තුළින් යම් සුභදායී තත්වයට රට පත්කරගැනීමට හැකිවූ බව ද සඳහන් කල අමාත්‍යවරයා පැහැදිලි කලේ හිස්ව තිබූ මහා භාණ්ඩාගාරයේ සංචිත ඉහල නංවාගැනීම කඩිනමින් කලයුතුව තිබූ අතර මේ මොහොත වන විට ඩොලර් සංචිය අපේෂිත මට්ටමට ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න