Image

සජිත් ගේ දේශපාලන සතිය - ආණ්ඩුවේ බැරි බැරි ගායට විපක්ෂයෙන් බෙහෙත් ඉල්ලයි

සජිත් ගේ දේශපාලන සතිය -  ආණ්ඩුවේ බැරි බැරි ගායට විපක්ෂයෙන් බෙහෙත් ඉල්ලයි

රුපියල දිනපතා අවප්‍රමාණය වීමේ තත්ත්වයක් මතුව ඇති පසුබිමක 2023 දෙසැම්බර් 22ට පසු ඇමරිකානු ඩොලරය පළමුවරට රු 331 සීමාව ඉක්මවා ගියේ මැයි 15 වන සිකුරාදා ය. මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුනහොත් ඉන්ධන, විදුලිය, ගෑස්, ජලය ආදී අත්‍යාවශ්‍ය සේවාවන්වල මිල ගණන් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් අවධාරණය කර ඇත.

සජිත් හෙළි කළ ජන හා සංඛ්‍යාලේඛණයේ බොරු දත්ත sajith pre

විධිමත් සහ ශක්තිමත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීමට නම් සත්‍යවාදී තොරතුරු අත්‍යාවශ්‍යය බවත්, ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව රටට ඉදිරිපත් කර ඇති දත්ත මහපොළොවේ සත්‍ය සහ යථාර්ථය නොවන බවත් කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ලොකු චෝදනාවක් පාර්ශව රැසකට එල්ල කළේ සිකුරාදා ය.

“ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් 2026 මාර්තු මාසයේ දී මේ රටේ එක පුද්ගලයකුට තුන්වේල කාල දුප්පත්කමින් මිදී දින 30ක් ජීවත්වෙන්න රු. 16,990ක් ප්‍රමාණවත් කියා පැවසීම ඇත්තට ම පදනම් විරහිත තොරතුරු ලබාදීමක්. ඒ අයම කියනවා කොළඹ දිස්ත්‍රීක්කයට රු. 18,000ක්, ගම්පහට රු. 17,908ක්, කළුතරට රු. 17,520ක් දින 30කට ජිවත් වෙන්න ප්‍රමාණවත් කියලා. මේ විදිහට දවසින්, දවස රුපියල අවප්‍රමාණය වෙන කොට මේ මුදලින් ජීවත් වෙන්නේ කොහොමද?, මේ දත්ත කේන්ද්‍ර කර ගෙන තමයි දරිද්‍රතා රේඛාව රජය තීන්දු කරලා විවිධ සහනාධාර ලබාදෙන්නේ, ඉතිං මේ රටේ ජනතාව ජීවත්වෙන්නේ කොහොමද? දරුණු තත්ත්වයකට රට යළිත් තල්ලුවෙමින් තියෙන්නේ,” කියමින් සජිත් පාර්ශව රැසකට චෝදනා කළේ, තිස්සමහාරාම කාසිංගම ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේ දී මාධ්‍යවේදීන් ආර්ථිකය පිළිබඳ ප්‍රශ්ණ නැගූ අවස්ථාවක ය.

විදුලි බිල අස්සේ සජිත්ට ආපු ඇමතුම් ගොඩ

ඒකක 180 ට වැඩියෙන් විදුලිය භාවිත කරන පාරිභෝගිකයන්ගේ විදුලි බිල 18% ඉහළ දැමීමට රජය කටයුතු කිරීමත් සමග ඉන් වඩාත්ම අපහසුතාවයට පත්වුණේ මෙරට  ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ය. ඔවුන් බොහොමයක් ඒ දුක් ගැනවිල්ල සජිත්ට ඉදිරිපත් කළේ දුරකතන මාර්ගයෙන් ය.sjith

“සර් බලන්න මේ ලයිට් බිල් වැඩි කරපු එකෙන් අපේ ව්‍යාපාර හැම එකකම නිෂ්පාදන මිල ඉහල යනවා. අපිට තමයි හැමදාමත් පහර වදින්නේ, කොරෝනා නිසා අපි කාලයක් දුක් වින්දා, ඊට පස්සේ ආර්ථික අර්බුදේ නිසා, ලයිට් නැතුව, තෙල් නැතුව, අපි දුක් වින්දා, ඊට පස්සේ පරාටේ නීතියෙන් දුක් වින්දා, දැන් ආයෙත්  අපිටම මේ ආණ්ඩුවත් ගහලා. අනේ සර් මේ ගැන කතා කරලා විසඳුමක් හොයන්න බලන්න.” 

මෙය සජිත්ට කතා කළ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් බොහොමයක ගේ දුක් ගැනවිල්ල විය. විපක්ෂ නායක සජිත් මේ විදුලි බිල හැඳින්වූයේ කප්පම් අය කිරීමක් ලෙසට ය.

“මේ වෙන මොකවත් නෙමෙයි, බාල ගල්අඟුරු ගෙන්වීමේ පාඩුව ආණ්ඩුව පියව ගන්න විදිහ. බාල ගල්අඟුරු නිසා අඩුවෙන විදුලිය නිෂ්පාදනය මේ අය පියව ගන්නේ ඩීසල් බාලාගරවලින්. අවසානයේ බාල ගල් අඟුරු වංචාවේ වන්දිය ගෙවන්න සිද්ධ වුණේ මේ රටේ කර්මාන්තකරුවට. මෙහෙම විදුලි බිල වැඩි රටකට ආයෝජකයෙක්වත් එන්නේ නෑ. විදුලි බිල 33% කින් අඩු කරනවා කියලා පම්පොරි ගහලා ආපු ආණ්ඩුව මේ විදුලිය වැඩි කළේ තුන්වෙනි සැරේට. මෙහෙම රටට යන්න බෑ අපි මේ ජනතාව පීඩාවට පත්කරන වැඩේට සැලසුම් සහගතව ආණ්ඩුවට බලපෑම් කරන්න සුදානම් වෙන්නම්.”

විපක්ෂ නායක සජිත්ගේ ඒ වචන ටිකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් ස්තුතිවන්ත වුණේ, 2023 දී සජිත් ආසියානු සංවර්ධන බැංකුවට කතා කර කර්මාන්ත රැක ගන්නට ඩොලර් මිලියන 100 ලබාදුන් අයුරු ද සිහිපත් කරමින් ය.

සිනා සාගරයක් වූ සජබ කළමණාකරන කමිටුව

thissa marikk

“පාර්ලිමේන්තුවේ 225ම හොරු, අපි ළඟ තමයි නියම බඩු ඉන්නේ, හර්ෂ, කබීර්, ඉරාන් කියන්නේ එදා රනිල්ගේ ආර්ථික කමිටුව අද සජිත්ගේ ආර්ථික කමිටුව, ඕං ඔච්චරයි වෙලා තියෙන්නේ, එයාලා රට කාපු අයනේ, අපි මේ වල්පැළ ගලවලා මල්පැළ හිටවන්න ඕන, නොවැම්බර් 14 පාර්ලිමේන්තුවත් ක්ලීන් කරමු. මතකනේ ජනාධිපතිවරණයේ දුන්න ඇඬෙන්න, ඔන්න මහ මැතිවරණයේදි දෙන්න ඕන ආයෙත් ලොවෙත් නැති වෙන්න. හරිද?” 

අනුර ජනාධිපතිවරයා මහමැතිවරණ වේදිකාවේ කියපු මේ කතාව මේ දවස්වල සජබ පක්ෂ කාර්යාලයේ සහ නො: 30 විපක්ෂ නායක කාර්යාලයේ නිරත්තරයෙන් ඇසෙන සහ සිහිපත් කරන දෙයක් වී තිබේ.

පසුගිය බදාදා සජබ මාධ්‍ය හමුවට පැමිණි මරික්කාර් මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදින් විමසා සිටියේ රජය පාර්ශවයෙන් සජබයට ලැබෙන ආරාධනා ගැන ය.

“මම පුංචි රහසක් කියන්නම්, අපේ පක්ෂයේ තියෙනවා කළමණාකරන කමිටුව කියලා එකක්, පහුගිය සුමානේ ඒක රැස්වුණාම කවදාවත් නැති විදිහට අපිට හිනායන කතා ටිකක් අහන්න ලැබුණා, ඒකට හේතුව මාලිමාවේ අය අපේ මන්ත්‍රීලට කතා කරද්දි ගෙවල්වල මිනිස්සු කියන කතා, අපේ එක මන්ත්‍රී කෙනෙකුට ඔහොම කතා කරන්න ආපු වෙලාවේ එයාගේ බිරිඳ ඉඳලා දෙන්නට ම හොඳටම බැණලා. ඒව ගැන කිය, කිය අපි මාර විදිහට විනෝද වුණා.”

ඒ වගේම අඟහරුවාදා සජබ දෛනික මාධ්‍ය හමුවට සහභාගී වූ පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ගෙන් ද මාධ්‍යවේදියකු විමසා සිටියේ “ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සමගි ජන බලවේගයේ දක්ෂයින්ට ආණ්ඩුවට සහය දෙන්න කියලා ඉල්ලනවා නේද?” කියාය…

ඊට පිළිතුරු දුන් තිස්ස…

“ඔව් මමත් දැක්කා බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස, වසන්ත සමරසිංහ වගේ මාලිමාවේ ජ්‍යේෂ්ඨයෝ එහෙම සජබයට ආරාධනා කරනවා. අපිට තියෙන ප්‍රශ්ණය එදා වල්පැළ, අද මල්පැළ වුණේ කොහොමද කියන එක, ඒකෙන්ම පේනවා ආණ්ඩුව ෆේල් කියන එක. කයිය විතරයි වැඩ බෑ ඇනිලා ඉන්නේ දැන් රටටම පැහැදිලියි. මගේ හිතවතෙක් කිව්වා පහුගිය දවසේ එතුම ගේ ගෙදරටත් ආණ්ඩුවේ ප්‍රධානියෙක් ආවලු. ඒ වෙලාවේ බිරිඳයි දරුවෝ දෙන්නයි ගෙදර හිටියලු. ඒ බලවතා කිව්වලු ඉල්ලන ඕන දෙයක් දෙන්නම් අපිට උදව් කරන්න. ඒකට තමන් ප්‍රතිචාර දක්වන්නත් ඉස්සෙල්ලා පුතා කිව්වලු, අනේ කරුණාකරලා ඔබතුමා යන්න. එදා අපේ තාත්තලට හොරු, වල්පැළ කියලා බැණලා අද උදව් ඉල්ලන්න එන්න එපා. අපි ඒ දවස්වල සමාජයට මුහුණ දුන්නෙත් අමාරුවෙන් එහෙම කරපු ඔයාලා මෙහෙම ඉල්ලීම් කරන්න ලැඡ්ජාවක් නැද්ද?”  

තමන්ගේ හිතවතෙක් කියූ ඒ කතාව තිස්ස ප්‍රසිද්ධියේ ම හෙළිදරව්ව කිරීමත් සමග එම ප්‍රවෘත්තියට අත්තටු ලැබුණේ විදුලි වේගයෙන් ය.

මුහුණු පොතේ හර්ෂගේ සටහන නිසා හබක් වූ පැලවත්තේ කැම්පේන් එක

මේ දිනවල ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින සමගියේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ආණ්ඩුවට එක්වන්නට යන බවට ප්‍රචාරයක් ගෙන යමින් සිටින්නේ පැලවත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් සහ ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය ආයතනයක වුවමනාව මත ය.harshajpg

කෙසේ හෝ හර්ෂ ගලවා ගැනීම යනු මාලිමාවේ ජයග්‍රහණයක් කියා සිතනා පිරිසක් රටේ අර්බුදය මගහරින්නටත්, සජිත්ට එරෙහි මාධ්‍ය කැම්පේන් එකක් ආරම්භ කරන්නටත් වස්තු විෂය කර ගැනීමට සැරසුණේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාව ය. ඒත් හර්ෂ ද සිල්වා තම මුහුණ පොතේ දැමූ සටහන නිසා ආණ්ඩුවේ ඒ කැම්පේන් සියල්ල හබක් වුණේ විනාඩි කිහිපයක් යන්නටත් පෙර ය.

“මේ ආණ්ඩුව අසාර්ථකයි. දූරදර්ශී ආර්ථික දැක්මක් මේ ආණ්ඩුවට නැතිබව පැහැදිලියි. ලෝකයට විවෘත නොවුණු වකුටු වූ අදහස් වලින් මේ ආණ්ඩුවට මේ රට හදන්න බෑ. ඒක අනාගතයේදී තව තවත් පැහැදිලි වේවි. මේ ආණ්ඩුවට මම යන්නෙ නෑ. කවදාවත් එවැනි සාකච්ඡාවක් කරලත් නෑ. සමගි ජන බලවේගය තුළ ප්‍රශ්නයක් නිර්මාණය කිරීමටත් යම් පිරිසකට වුවමනා වී තිබෙන බවත් මෙම ප්‍රචාරණ වලින් පේනවා.”

හර්ෂ කියන ආකාරයට සමගි ජන බලවේගය තුළ ප්‍රශ්ණයක් නිර්මාණය කරමින් එහි වාසිය අනුරට අරන් දෙන්නට පිඹුරුපත් සකස් කරන්නේ කවුද කියා දැන් මුළු රටටම පැහැදිලි වී තිබේ. 

විජේට සජිත් ගෙන් සුබ පැතුම්...!

තමිල්නාඩුව සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කළ ප්‍රධාන අමාත්‍ය විජේ (@actorvijay) මැතිතුමාට මාගේ උණුසුම් සුබපැතුම් එක් කරමි’ යනුවෙන් X ගිණුමේ සටහනක් යොදන්නට සජිත් කටයුතු කර තිබුණි.sp v v

“ඉතිහාසය අපට පෙන්වා දී ඇත්තේ, වෛරය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවයි. සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ විසින් මිනිසුන්ට සැබවින්ම ජීවත්වීමට රුචි අනාගතයක් නිර්මාණය කරනවා. මේ අලුත් පරිච්ඡේදය ප්‍රගතිය, කරුණාව වගේම අතීතයේ අන් අය දුරස්ථභාවයට පත් කළ තැන් අවබෝධයෙන් හඳුනාගන්නට අවශ්‍යය ප්‍රඥාව ගෙන එනු ඇතැයි බලාපොරොත්තු වෙමි. යනුවෙන් සජිත් තමිල්නාඩුවේ නව මහඇමති තලපති විජේට සුබපැතුම් එක්කර තිබුණි.

රටත්, ජනතාවත් ගැන සංවේදී බැල්මක් sajith

පූජ්‍ය ආණමඩුවේ ධර්ම කීර්ති ශ්‍රී ඤාණානන්ද හිමියන් වෙත ශ්‍යාමෝපාලී වාංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජවන්නි කුමාරවන්නි දෙපාර්ශවයේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ද ආරාධනා ලැබ තිබුණි. එම උත්සවයේ දී සජිත් කළ කතාවට බොහෝ දෙනෙකුගෙන් පැසසුම් ලැබී තිබුණි.

“අවුරුදු කිහිපයක් තුළ අපි රටක් විදිහට ඛේදවාචක රැසකට මුහුණ දුන්නා. 2019 පාස්කු ප්‍රහාරයේ සිට 2026 මැදපෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක රැසක් නිසා සමස්ත ජනතාවම හෙම්බත් වෙලා, ගැටලු රැසකට මුහුණදීපු අවස්ථාවක්. ප්‍රශ්ණ විශාල ප්‍රමාණයකට මුහුණ දීලා අතිශය පීඩනයකට, අසහනයකට, කණගාටුවකට ලක්වෙච්ච ජන සමාජයක් මේ තියෙන්නෙ. මේ වගේ අවස්ථාවක ජනතාවට ඇහුම්කන් දීමත්, සංවේදීවීමත්, මානුෂීය විමත් ඉතාම වැදගත්. දශ ලක්ෂ ගණනක ජනතාවක් මේ වෙලාවේ අගහිඟතාවලට මුහුණ දෙනවා.ඒ ගැටලුවලට තමයි අපි උත්තර හොයන්න ඕන. ඒ විසදුම් ලබාදීමේ දී පන්සල ප්‍රමුඛ ආගමික සිද්ධස්ථානත් සුවිශේෂී කාර්යක් ඉටු කරනවා. සමස්ථය ඒ වටා ගොණුවීමයි ඉතාම වැදගත් වෙන්නේ.”

ශාසනයට එල්ල වන සැම අභියෝගයක් ම පරාජය කරන්නට එක්වෙමු

saji

වෙල්ලස්ස, බින්තැන්න, නැගෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පුජ්‍ය ශ්‍රී සරණංකර දේවරක්ඛිත මහඔය ජිනරතන හිමියන්ට සන්නස් පත්‍රය ප්‍රධානය කිරීමේ උත්සවයට එක්වූ සජිත් බෞද්ධාගමට ලබාදිය යුතු නිසි ගෞරවය ගැන තම මතය ප්‍රකාශ කළ අයුරු දැකගත හැකි විය.

“මේ රටේ ජනතාව ගේ මුලික හා මානව අයිතිවාසිකමක් තමයි, තමන්ගේ ආගම, දහම ඇදහීමට ඇති අයිතිය. ඒක අපි ආරක්ෂා කළ යුතුයි, ඒකට අපි ගෞරව කළ යුතුයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බව කියමින් බුදුදහමට ලබාදී ඇති මුල්තැන ඉවත් කිරීමට ඉඩ දීමට හැකියාවකුත් අපි කාටවත් නෑ. විවිධ බලවේග හා කණ්ඩායම් කුඨ ක්‍රමවේද උපයෝගී කරගෙන සම්බුද්ධ ශාසනය කෙලෙසන්න උත්සාහ කරන විදිහ පේන්න තියෙනවා. ඒක මහපොළොවේ යථාර්ථයක් වෙන්න ඉඩ දෙන්න බෑ.”

මේ කතාව තුළ විපක්ෂ නායක සජිත් දහම් අධ්‍යාපනය ගැනත් සිහිපත් කළ අතර ඔහු අවධාරණය කළේ, දහම් අධ්‍යාපනයෙන් දරුවන් එන්න එන්නම ඈත්වීම වැළැක්වීමට ප්‍රායෝගික සහ ස්ථිරසාර විසඳුමක් හඳුන්වා දිය යුතු බව ය.

ප්‍රතිවාදීන් හිරේ දමන්නට පිඹුරුපත් සකසන නව දේශීය ආදායම් පනත

යෝජිත නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ 185 ආ වගන්තිය මඟින්, බදු වාර්තා ගොනු කිරීම ප්‍රමාද වීම හෝ ලියාපදිංචි වීමේ ප්‍රමාදයන් වැනි පරිපාලනමය වැරදි පවා අපරාධමය වැරදි බවට පත් කරමින් සිදුකරන්නට යන පුරවැසි මර්ධනය වහා හකුළා ගන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස X ගිණුමේ සටහනක් යොදමින් අවධාරණය කර තිබුණා.sajit

සජිත් වැඩිදුරටත් දක්වා තිබුණේ….,

ජීවත් වීමට වෙහෙසෙන සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකුටත්, හිතාමතා රුපියල් මිලියන ගණනින් බදු ගෙවීම් පැහැර හරින අයෙකුට හා සමානව සැලකිය හැකිය අයුරින් මේ හරහා නීති සම්පාදනය කර ඇති බව සජිත් පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ එය දෝෂ සහගත තත්ත්වයක් බවයි.

“බදු ක්‍රමය නිවැරදි කිරීම, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) නවීකරණය කිරීම සහ බදු අනුකූලතාවය පහසු කිරීම වෙනුවට, රජය මේ සිදුකරන්නේ සාමාන්‍ය ජනතාව අපරාධකරුවන් කිරීම නමැති කෙටි මාවතට පිවිසීමයි,” යනුවෙන් සජිත් මෙම බදු පනතේ 185 ආ පරිච්චේදය දැඩිව විචේචනය කර තිබුණා. 

මම | බංගලා හංදියේ ලියුම්කරු 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න