අලුත්කඩේ අංක 04 උසාවියේ විභාගයට ගැනුණු ඉනෝකා ගාල්ලගේ එදිරිව කමල් අද්දර ආරච්චි නඩුවේ දී ඉනෝකාට නීතීඥ සහාය ලැබුණු ආකාරය “සාංගිකා” හෙවත් අනුරාධපුර මහ පුද බීමේ දී වයස අවුරුදු 11 දී දැරියට ද අදාළ වෙතැයි මට සිතේ. ඉනෝකා ගේ දුෂණ චෝදනා ගෙනා අද්දර ආරච්චි ද එකල දේශපාලන බලය, සමාජ බලය හා ධන බලය හිසින් දරා සිටි සිවිල් චරිතයකි.
කාගේ හෝ මඟ පෙන්වීමක් මත ඉනෝකා ගේ අම්මා සහ පුංචි අම්මා අලුත්කඩේ නීති ආධාර කොමිසමට යොමු කෙරුණු. එවකට එම කොමිසමේ සභාපතිවරයා වූයේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු වින්සන් ස්වර්ණාධිපති ය. එහි කනිටු නීතීඥවරියක් වූයේ ඔහු ගේ ම දියණිය වූ ඛේමා ස්වර්ණාධිපති ය. ඛේමා ගේ මැදිහත් වීම නිසා නීති ආධාර කොමිසම ඉනෝකා ගේ නඩුව තමන්ගේ වගකිමක් ලෙස බාර ගත්තා ය.
එහෙත්, සාංගිකා ගේ මේ නඩුවේ දී මෙන්ම දේශපාලකයන්, හෙල නළුනිළි කැල සහ අධිකරණය පවා සිටියේ අද්දරආරච්චි ගේ පැත්තේය. මේ ආකාරයට ම සැකකරු සැඟවී සිටිද්දී වන්දි ගෙවා නඩුව අයින් කර ගැනීමට ඉනෝකා ගේ ඥාතීන්ට බල කරන්නට ගිය දේශපාලකයන් ගේ නායකයා වූයේ හිටපු ඇමැති මර්වින් සිල්වා ය. ඊනියා කලාකාරයන් වෙනුවෙන් ගියේ ප්‍රීතිරාජ් වීරරත්නය (ඉරාජ් වීරරත්න ගේ පියා). මේ බලය නිසා කමල් අද්දර ආරච්චි මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ම නිදහස් කළේ පසුව රටින් පලා ගිය හිටපු විනිසුරු චම්පා බුද්ධිපාල ය.
මේ රටේ ලිංගික හිංසනවලට බහුලව ම ගොදුරුවන්නේ දිළිඳු ළමුන් ය. අවුරුදු 4 සිට 16 දක්වා පංසල්වලට මහණ කිරීමට පූජා කෙරෙන්නේ ද දිළිඳු බවේ පතුලේ ම සිටින පවුල්වල දරුවන් ය. ළමා මෙහෙකාරයින් යොදා ගැනීම තහනම් කෙරෙන තෙක්ම ළමා මෙහෙකරුවන් වූයේ ද ඔවුන් ම ය.
දැන් සාංගිකාගේ පවුලේ උදවියට [තාත්තා හෝ වෙනත් ඥාතීනට] කළ යුත්තේ නීති ආධාර කොමිසමේ සහාය පැතීම ය. එසේත් නැතිනම් පරහිතකාමී නීතිඥයින් අපි පිට පළාත්වලින් අනුරාධපුරයට ගෙන යායුතු වෙමු. එසේ කරන්නට නම් ළඟ ම ඥාතීන් ගේ කැමැත්ත වුවමනා ය.
නීතියෙන් ‘සාංගිකාට’ යුත්තිය ඉටු නොවන්නේ නම් ජනමාධ්‍යකරුවන් හැටියට ඒ වගකීම පැවරෙන්නේ අපට ය. අපි අපේ වගකීම අද්දරආරච්චි නඩුවේ දී මැනවින් ඉටු කළෙමු; ඉදිරියට ද කරන්නෙමු.

(‘සළෙලු වරම් - සිනමා නළුවන්ට දැරියන් දූෂණයට නීතියෙන් ලයිසන්’ තිබෙන්නේ මේ කතාව ය)

නන්දන වීරරත්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
