ස්ථාන මාරුවෙන් පොලිසිය ඇවිලෙයි !

ස්ථාන මාරුවෙන්   පොලිසිය ඇවිලෙයි !

ස්ථාන මාරු කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීමේ බලයක් නැතැයි දකුණු පළාත් බර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ලිපියක් මගින් එම අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක ට දැනුම් දී ඇත.

ඒ අනුව එම නියෝගය පිළිපැදීමට තමන් බැඳී නොමැති  බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ලිපියෙන් සඳහන් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට නියෝග නිකුත් කරනු ලැබුවේ ඊයේ (25) දිනයේදීය.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඊට එරෙහිව මෙම ලිපිය යොමු කර ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු  කිරීමට බලය ලබා  ඇත්තේ ජාතික පොලිස් කොමිසමට බව ද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය ලිපියෙන් දැනුම් දී ඇත.

පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 එන් එල් ආර් 25 නඩුවේ නියෝග අනුව අනීතික නීතිය ක්‍රියාත්මක කිරීමට තමා බැඳීම් නොමැති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සිය ලිපියේ සඳහන් කර තිබේ.

අජිත්ට එහෙම හැසිරෙන්න බෑ - ඇමති ටිරාන් 

මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  ට  ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ නියමිත නිත්‍යානුකූල ක්‍රමවේදය අනුව බවය.

අජිත් රෝහණ  ඇතුළු   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ පූර්ණ ආවරණ අනුමැතියට යටත්ව බව පැවසූ අමාත්‍යවරයා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව එවැනි මාරු කිරීම් කිරීමට ඒ කොමිසම බලය ලබාදී  ඇති බවද  ප්‍රකාශ කළේය.

ඔහු දකුණු පළාතට මාරුකර  යවනු ලැබුවේද ඉහත  ක්‍රමවේදය අනුව බවත් ඒ අවස්ථාවේදී   දකුණු පළාතට ගිය අජිත් රෝහණ  එම ක්‍රමවේදය යටතේම නැගෙනහිර පළාතට මාරු කළ අවස්ථාවේදී එය  ප්‍රතික්ෂේප කරන්නේ කෙසේදැයි කියාද අඅමාත්‍යවරයා      ප්‍රශ්න කර ඇත .

සේවා අවශ්‍යතා මත කළ උසස් පොලිස් නිලධාරින් රැසකට මාරුවීම් ලබාදී  ඇති අවස්ථාවක  අජිත් රෝහණ  පමණක් එම  මාරුවීම ප්‍රතික්ෂේප කිරීම ගැටළු සහගත කාරණයක් බව  පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඒ පිළිබඳව රජයේ  විශේෂ අවධානය යොමුවී ඇතැයිද  ප්‍රකාශ කර තිබේ.

අජිත් රෝහණ කොළඹ කැඳවයි : කොමිසම අනුමත කරයි : ප්‍රියන්තත් අවුලෙන් !

 කෙසේ වුවත් ආන්දෝලනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්හත් දෙනාගේ ස්ථානමාරුවීම් ජාතික පොලිස් කොමිසම අනුමත කර ඇති බව වාර්තා වෙයි . 

ඒ අතරින් නැගෙනහිර පළාත වෙත මාරුකර සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොළඹ පොලිස් මූලස්ථානය වෙත තාවකාලිකව කැඳවීමට නිර්දේශ කර ඇති බවත්  සඳහන් වෙයි.

මේ අතර ස්ථාන මාරුවීම ලැබූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්.ඒ.එස්. ප්‍රියන්ත වීරසූරිය විසින්ද තම ස්ථාන මාරුව පිළිබඳව විරෝධය දක්වා තිබුණත් කොමිසම විසින් මේ දක්වා ඒ පිළිබඳව අවධානය යොමු කළ බවක් වාර්තා නොවෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න