“වෘත්තීය සමිති නායකයෝ තවමත් වත්කම් හෙළි කර නෑ” – කම්කරු ඇමති

“වෘත්තීය සමිති නායකයෝ තවමත් වත්කම් හෙළි කර නෑ” – කම්කරු ඇමති

මේ දක්වා කිසිදු වෘත්තීය සමිති නායකයෙකු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.

ඒ අනුව ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා පියවර ගනිමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේ ය.

වත්කම් බැරකම් පනත අනුව සියලු ම වෘත්තීය සමිති නායකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

රජය සේවක අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ ඇමතිවරයා දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් සේවක අයිතීන් පාවා දීමට සූදානම් වන අවස්ථාවලදී ඊට අවශ්‍ය නිසි පියවර ගන්නා බව අවධාරණය කළේ ය.

දේශපාලන වුවමනාවන් වෙනුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය හා ආර්ථික මර්මස්ථාන උකසට ගැනීමට ඉඩදිය නොහැකි බව ද නානායක්කාර මහතා පැවසීය.

අර්ධකාලීන රැකියා කිරීමට, තොරතුරු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල කාන්තාවන්ට රාත්‍රී කාලයේ සේවය කිරීමට, අතිකාල සඳහා සේවය කිරීමට අවස්ථාව ලබා දෙන්නැයි තරුණ තරුණියන් සිදුකරන ඉල්ලීම් ඉටු කරන විට වෘත්තීය සමිති නායකයන් ඊට විරෝධය දක්වන බව ද හෙතෙම කීවේ ය.

ඇතැම් පුද්ගලයන් වෘත්තිකයා නියෝජනය කිරීමට නොව තමන්ගේ යල්පැන ගිය වෘත්තීය සමිති ආරක්ෂා කරගැනීමට උත්සහ කරන බව පැවසූ ඇමතිවරයා ජනප්‍රිය තීරණ නොවුණ ද, කොතරම් විවේචන පැමිණිය ද රජය හරි දේ කරන බවද සඳහන් කළේ ය.

රජය කම්කරුවාගේ අයිතිය, ශුභසාධනය වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ආරක්ෂා කරන බව ද ඔහු කීවේ ය.

මේ අතර, දැනට පවතින සංකීර්ණ කම්කරු නීති වෙනුවට ඉදිරිපත් කරනු ලබන සංයුක්ත කම්කරු නීති පද්ධතියේ පළමු කෙටුම්පත මැයි මාසය වන විට සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ ය.

ඒ සඳහා වෘත්තීය සමිතිවලට, ව්‍යවසායකයන්ට හා ස්වාධීන මත දරන ඕනෑ ම අයෙකුට කම්කරු අමාත්‍යාංශය වෙත අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

මෙම දළ කෙටුම්පත සකස් කිරීමෙන් අනතුරුව ද එයට අවශ්‍ය අදහස් ලබාදීමේ අවස්ථාව විවෘතව පවතින බව ද නානායක්කාර මහතා පැවසීය.

අවුරුදු ගණනාවක් පැරණි කම්කරු පනත් 40ක් පමණ ඇති නමුත් දැනට භාවිතයේ ඇත්තේ ඉන් පනත් 16ක් පමණක් බව පැවැසූ ඇමතිවරයා කම්කරුවන් සහ ආයෝජකයන් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේදී මෙම කම්කරු නීති සම්බන්ධයෙන් චෝදනා කරන බව සඳහන් කළේ ය.

මව්බිම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න