වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කිසිඳු වෙනසක් සිදුනොවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියි.
මේ වන විට එම ධුරයේ කටයුතු කරමින් සිටින්නේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් වන අතර වාර්තා වන ආකාරයට ඔහු පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන තුරු ඔහු එම ධුරයේ කටයුතු කිරීමට නියමිතව ඇත.
පසුගියදා වජිර අබේවර්ධන අමාත්‍යවරයාද සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විපක්ෂනායක ධුරය හිමිවන්නේ ආණ්ඩුව පිහිටුවන පක්ෂය හෝ පක්ෂ හැරුණු විට ඊට පසුව වැඩිම මන්ත්‍රීධුර සංඛ්‍යාවක් සිටින විපක්ෂයේ දේශපාලන කණ්ඩායමට විපක්ෂනායක ධුරය හිමිවන බවය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වන තුරු එම පක්ෂය නියෝජනය කරන කිසිවෙකුට විපක්ෂනායක ධුරය සඳහා ඉඩක් නොමැත. එසේම එක් පාර්ශවයක් ආණ්ඩුව නියෝජනය කරන පසුබිමේ ශ්‍රීලනිපයට එම ධුරය ඉල්ලීමට හෝ සදාචාරාත්මක හිමිකමක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.එවැන්නක් සිදුවීම පවා නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස් විපක්ෂනායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව කියන්නේ ව්‍යවස්ථාව නොසලකා බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඒ අනුව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ, පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප කණ්ඩායමේ 16 අතුරින් සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා අදාළ ධුරය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටියත් මේ වන විට පවතින තත්ත්වය අනුව එවැන්නකට ඉඩක් නොමැති බවය.

