Language Switcher

V2025

නිදහස් සන්ධාන ලේකම් මාරුවට : ,අතුරු තහනමක් !

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීමට ගත් තීරණය අත්හිටුවන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමක් සළකා බැලු කොළඹ දිසා විනිසුරු පුර්ණීමා පරණගම සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු වගඋත්තරකරුවන්ට ජනවාරි 11 වැනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයි දැනුම් දෙමින් අතුරු තහනම් දැන්වීම් හා නොතීසි අද (08) නිකුත් කළාය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් තමා ඉවත් කිරීම එහි ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් නීතීඥ සුරේන් ප්‍රනාන්දු ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරිය එලෙස නියම කළාය.

මහින්ද අමරවීර අමාත්‍යවරයා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය” එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේන , දයාසිරි ජයසේකර, වඩුවෙල් සුරේෂ්, තිලංග සුමතිපාල, ඇතුළු ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට ඇත.

නීතීඥ ගයාන් සල්වතුරගේ උපදෙස් මත ඉදිරිපත් කොට ඇති මෙහි පෙත්සම්කාර මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුරේන් ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බවත් පසුගිය දිනක ඔහු එම තනතුරින් ඉවත් කොට ඒ වෙනුවට තිලංග සුමතිපාල පත් කොට ඇතැයිද සඳහන් කළේය.

තම සේවාදායකයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉවත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධාන ව්‍යවස්ථාවට පටහැනි යැයි පෙන්වා දෙන නීතීඥ සුරේන් ප්‍රනාන්දු එහෙයින් තම සේවාදායකයා සන්ධානයේ ප්‍රධාන ලේකම්ධුරයෙන් ඉවත් කිරීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලීමක්ද කොට ඇත.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් මූලික විරෝධතාවක් මතු කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජික පක්ෂ රැසක් සිටින හෙයින් එම පක්ෂ මෙම නඩුවේ පාර්ශ්වකරුවන් කර නොමැති තත්වයක් තුළ නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කළේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරිය මෙම පෙත්සම ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා යළි කැඳවීමටද නියම කළාය.