මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ සිය නිවසේ ගෙවත්තේ දී සැකකටයුතු ලෙස මියගොස් තිබේ.
මෙම සිදුවීම පිළිබඳව ඊයේ (30) පස්වරුවේ කුලියාපිටිය පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර, ඒ අනුව පොලිසිය පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි ඔහු ගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලිසිය පවසන්නේ, රාජපක්ෂ ගෙවත්තේ වැටී සිටින අයුරු දුටු ඔහුගේ දියණිය මවට දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය දැනුවත් කර ඇති බවයි.
මළකඳ ආසන්නයේ ලේ තැවරුණු පිහියක්...?
ස්ථානීය පරීක්ෂණයේ දී කෙසෙල් පඳුරක් අසල විශාල ලේ පැල්ලමක් නිරීක්ෂණය වී ඇති අතර, ඔහු ගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක් ද දක්නට ලැබී ඇත. එම ස්ථානය ආසන්නයේ තිබී කුඩා ප්‍රමාණයේ පිහියක් ද පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.
මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, මෙය ඝාතනයක් ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරේ. කුලියාපිටිය මහේස්ත්‍රාත්වරිය ද ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කර ඇත.
වැඩ තහනමෙන් පසු ඔහු මානසික පීඩනයකින් ඉඳලා
අදාළ මුදල් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවස්ථා තුනක දී කැඳවා ප්‍රශ්න කර තිබූ අතර, ඔහු ගේ පරිගණකය ද විමර්ශන සඳහා භාරයට ගෙන තිබුණි.
විමර්ශනවල දී හෙළිවී ඇත්තේ, හැකර්වරුන් විසින් එවන ලද ව්‍යාජ ඊමේල් පණිවුඩයකට ප්‍රතිචාර දක්වීම හරහා මුදල් බැර කිරීමේ මූලික පියවර සිදුව ඇති බවයි. එම ඊමේල් පණිවුඩයට මුලින්ම ප්‍රතිචාර දක්වා ඇත්තේ ද ඔහු බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
ඔහුට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක්ද පනවා තිබූ අතර, වැඩ තහනමෙන් පසු ඔහු මානසික පීඩනයකින් සිට ඇති බවද වාර්තා වේ.
Janakie Wijerathna
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
