ශ්‍රීලනිප දුමීටත් විනය පරීක්ෂණයක් : CBK අලුත් ගේමක !

ශ්‍රීලනිප දුමීටත් විනය පරීක්ෂණයක් : CBK අලුත් ගේමක !

අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අයවැයට විරුද්ධව ඡන්දයදීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ඔහුට ද අදාළ බවත්, එතුමන්ද මධ්‍යම කාරක සභාවට සහභාගී වී සිටි බවත් එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් පක්‍ෂයේ බලය අල්ලයිද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ ඒ ගැන කිසිම බයක් නොමැති අතර, ඕනෑම අයකුට පක්‍ෂයට පැමිණිය හැකි බවත් ය.

කෙසේ වුවත් ශ්‍රීලනිප සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු සිදුකළ අනාවරණයක් පහත දැක්වෙයි.

සිරිසේනට අත දී චන්ද්‍රිකා අලුත් ගේමකට සූදානම් වෙයි !

ඊයේ (22) තිබුන 2023 අයවැය දෙවනවර කියවීමේ දී, ඒකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව, ඒ කියන්නේ CC එක, තීරණය කෙරුවේ 21 හවස..

එදා ඔය කියන CC එකේදී, තවත් තීරණාත්මක තීන්දු කීපයක්ම අරගෙන තිබුනා.

හිටපු ජනාධිපතිනි, CBK ඇතුළු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වෙලා වැඩකරන, සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න , ඒ CC එකේදී තීන්දුවක් ගත්තා.

මෙතෙක් භාණ්ඩාගාරික විදියට හිටපු, ලසන්ත අලගියවන්න අයින් කරලා, නව භාණ්ඩාගාරික විදියට, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල පත්කරලා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයෙන්, ඇමැති මහින්ද අමරවීර අයින්කරලා, තිලංග සුමතිපාලව පත් කරලා.

ආරංචියේ හැටියට, CBK ඇතුළු සෙට් එකම දොට්ට දාන්න ආසන්නම හේතුව වෙලා තියෙන්නේ , ඇමති මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායමක්, පහුගිය දවසක, CBK හමුවෙන්න ගිය සීන් එකලු.

මේ කට්ටිය CBK හමුවෙච්ච වෙලාවේ, CBK කිව්වලු , “මම දේශපාලනේදී කරගත්ත මෝඩම වැඩේ, මෛත්‍රීව ජනාධිපති කරන්න, උදව් කරපු එක." කියලා.

CBK කියපු ඒ කතාව විතරක් නෙමෙයි, කට්ටිය අලුත් සන්ධානයක් ගහන්න කරපු කතාබහ ගැනත්, මෛත්‍රීට ආරංචි වෙලා.

පක්ෂ සාමාජිකත්වය අත්හිටවපු කතාව, CBK දැනගෙන තියෙන්නේ , ඊයේ උදේ.. කට්ටියක් නඩු දාන කතාවක් කියලා.

''අනේ මම නං නඩු කියන්න යන්නේ නෑ .. '' CBK කිව්වලු..

'' මහින්දලා - මෛත්‍රීලා මිට ඉස්සරත්, මට ඔහොම කරලා තියනවනේ.. හැබැයි වැරදුනේ මට නෙමෙයි, ඒගොල්ලන්ට..'' CBK දුමින්දලට කියල තියෙන්නේ එහෙම. ඒ කියන ගමන් ඉතිහාස කතාත් කියලා.

ශ්‍රී ලංකා එක නිර්මාණය කලේ, CBK ගේ තාත්තා. SWRD බණ්ඩාරනායක දිවනගත අගමැතිතුමා. .. අසීරුම අවස්ථාවල පක්ෂය රැකගෙන පෝෂණය කෙරුවේ, CBK ගේ අම්මා. සිරිමාවෝ මැතිනිය. වසර 17 ක් ගුටිකකා හිටපු පක්ෂය ආයෙත් බලයට ගෙනාවේ CBK .

එහෙව් CBK ව, 2006 දී, ශ්‍රී ලංකා එකේ සභාපති කමෙන් පන්නනවා. ඒ මහින්ද ජනාධිපතිවෙලා අවුරුද්දකින්.. මංගලලා එපා කියද්දී , CBK ව එහෙම සභාපති කමෙන් එළියට ඇදලා දාන්නේ, CBK ගේ උපන්දිනය දවසෙම.

'' සර් උපන්දිනේ දවසේ එහෙම කරන්න එපා' CC එකේ සමහරු කියද්දේ.. '' නෑ, මට ඕන ඕකිගේ උපන්දිනේ දවසෙම පන්නලා දාන්න ඕන.'' මහින්ද එදා කියලා තිබුනේ එහෙම.

හැබැයි මොනවා වුනත්, මහින්ද පස්සේ, CBK ව ශ්‍රී ලංකා එකේ යාවජීව අනුශාෂිකාව කෙරුවා.

2018 දී ජනාධිපති මෛත්‍රී , ශ්‍රී ලංකා එකෙන් CBK ඉවත් කළා කියලා දැනුම් දෙනවා.. ඒ පොහොට්ටුවත් එක්ක සන්ධානගත නොවී , ශ්‍රී ලංකා එක, පළාත්පාලන චන්දෙට තනියම තරඟ කරමු කියල යෝජනා කලාට .. ''

ඔය ඉතිහාසේ මතක් කරන ගමන් , පක්ෂ වලට කුලල්කා ගන්නේ නැතුව, රට ගොඩ දාන්න එකතුවෙමු කියලත් CBK කිව්වලු ...

ඒ කතාවෙන් නම් පෙන්නේ, CBK අලුත් වැඩකට අතගහන්න යන පාටක් ..

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න