Language Switcher

V2025

රනිල්ගේ සර්ව පාක්ෂික පාලනයෙන් විපක්ෂයට සුනාමියක් !

කාටවත් මතකද රනිල් වික්‍රමසිංහ පහුගිය කාලේ අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තේ මොකටද කියලා . ඊළඟට ව්‍යවස්ථාවට අනුකූල ලෙස ජනාධිපති වුණ එක ඇත්ත . හැබැයි රනිල් ආවේ, මේ දරුණු ආර්ථික අර්බුදය සමනය කරන්න පුළුවන් කියලා .

හැබැයි මේ ටිකේ මීඩියා දිහා බැලුවාම පේන්න තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩු කතා විතරයි වගේ . ආර්ථිකය හදන්න වැඩ පිළිවෙලක් යනවා තමයි හැබැයි ඒකට පබ්ලිසිටි නැති තරම්. කොටින්ම රාජ්‍ය මාධ්‍ය පවා උණ විකාරෙන් වගේ සර්ව පාක්ෂික පාලනය අස්සේ හිරවෙලා.

දේශපාලන ආරංචි මාර්ග කියන විදියට මේ දවස් වල ජනාධිපති රනිල් එක්ක සාකච්ඡාවට යන අයට වෙන්නේ , අර යකාගේ විලෙන් වතුර බොන්න ගිය අයට වුණා වගේ වැඩක්.

විල පැත්තට ගිය අඩිපාරවල් ගොඩක් තිබුණත්, ආයෙත් ආපු අඩි පාරවල් පේන්න නෑ . ඒ වගේ තමයි මේකත්, ජනාධිපති කාර්‍යාලය පැත්තට ගොඩක් අය සාකච්ඡාවට යනවා , හැබැයි ආයේ එන්නේ ටික දෙනයි. බහුතරයක් නවතින්න හිත හදාගෙන තමයි එන්නේ.

ලස්සනම වැඩේ වුණේ, සමගි ජනබලවේගය පක්ෂයට. කොච්චර ආරාධනා කළත් සජිත් රනිල් එක්ක සාකච්ඡාව ප්‍රතික්ෂේප කරමින් හිටියේ . සමහර විට වික්‍රමසිංහ ස්ටයිල් එක දන්න නිසා වෙන්න පුළුවන් .

හැබැයි අන්තිමට පක්ෂයේ පිරිසක් කඩාගෙන යන්න සූදානමක් ඇති බව තහවුරු වුණ ගමන් සජිත් පක්ෂය බේරගන්න වගේ සාකච්ඡාවට ගියා.

මාර වැඩක් වුණේ, මෙන්න රනිල් තෙල බෙදන්න ගත්තා . ඒ 1941 වසරේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය විපක්ෂ නායක ධූරය දරණ ගමන්ම අමාත්‍ය ධූර භාර ගත්ත කතාවක් කියමින්. එහිදී මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළ බවත් එම සම්ප්‍රදායම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් බවත් රනිල් කිව්වා.

ඇත්තටම සජබ සෙට් එකක් හිටියා ආණ්ඩුවට යන්නත් ඕන, හැබැයි ශක්තිමත් තර්කයක් නැතුව . ඒ කියන්නේ ආසයි බයයි සෙට් එකක් . දැන් ඉතිං හරිනේ, ජනාධිපති රනිල් කට්ටියගේ ඔලුව අතගාලා එවලා තියෙන්නේ " සර්ව පාක්ෂික ආණ්ඩුව " කියලා කියන එක අවුලක් වගේ නම් " සර්ව පාක්ෂික පාලනයක් " කියලා කියමු කියලා.

ඒ වගේම "මේ සියලු දෙනා මමත් එක්ක වැඩකරපු අය. ගැටලුවක් නැහැ. අපිට එකට වැඩ කරන්න පුලුවන්.'' කියලත් කියලා. කාලා එන්නකෝ, ඔන්න දැන් සජිත් සේරම දමලා ගහලා ගෙදර ගියත් සජබ නඩයක් එංගලන්තයේ 41 සිස්ටම් එකට හරි ආණ්ඩුවට සෙට් වෙන්නලු යන්නේ .

ඒ අස්සේ පසුගියදා සජිත් එක්ක රනිල්ගේ සාකච්ඡාවට ගිය මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා , ආයෙත් එයාගේ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය , කියන දේශපාලන පක්ෂය හැටියට ආයෙත් ජනාධිපති රනිල් හම්බෙන්න දින දාගෙන . අගෝස්තු 10 ලු දිනය හම්බෙලා තියෙන්නේ .

ඒ වගේම තමයි ජනාධිපති රනිල් පහුගිය දවස් වල ඔය ආගමික නායකයන් හම්බෙන අවස්ථාවල ප්‍රසිද්ධියේ කිව්වා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා සඳහා එනවා , ඒත් ජවිපෙ එන්නේ නෑ කියනවා කියලා . ඔය විදියට ජවිපෙ තාප්පෙටම හේත්තු කරන්න යනකොට ඔන්න ජවිපෙත් ජනාධිපති රනිල් හමුවෙලා සාකච්ඡා කරන්න දිනයක් දාගෙනලු. කවුරුත් ප්‍රසිද්ධ නොකළට, දේශපාලන ආරංචි මාර්ග නම් කියන්නේ අගෝස්තු 09 , අඟහරුවාදා තමයි ජවිපෙ ජනාධිපති රනිල් හම්බෙන දවස කියලා .

ඒ වගේම තමයි , වී.විග්නේෂ්වරනුත්, එයාගේ පක්ෂය එක්ක වෙනම ගිහින් ජනාධිපති රනිල් හම්බෙන්නලු ඉන්නේ . ඒකත් ගොඩක් වෙලාවට බදාදා වෙයි කියලයි කියන්නේ .

ඒ වගේම පහුගියදා චම්පික රණවක ප්‍රමුඛ 43 සේනාංකයත් ජනාධිපති රනිල්ව හම්බුණා . එහිදී ඉදිරිපත් කළ යෝජනාවලටත් ජනාධිපති සුබවාදී ප්‍රතිචාරයක්ලු දැක්වූවේ.

දේශපාලන වාර්තාකරු