රාසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩලා : අග්‍රාමාත්‍යවරයාගෙන් බරපතළ චෝදනාවක් !

රාසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩලා : අග්‍රාමාත්‍යවරයාගෙන් බරපතළ චෝදනාවක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීම ඇතුළුව ගිනි තැබීම්, දේපළ හානි කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා අනුමත කරමින් කතා කළ ශානක්‍ය රාසමාණික්කම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් ඔහු එම ප්‍රකාශය සතියක් තුළ , කණගාටුව ප්‍රකාශ කර ඉල්ලා අස්කරගත යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි .

එසේ නොමැති නම් අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් කතානායක විසින් කරුණු විමසා, අදාළ කොමිටියට යොමුකර පාර්ලිමේන්තුව වෙත වාර්තාවක් ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය .

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් දක්වා සිටියේ පසුගියදා ඝාතනය වූ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ අවස්ථාවේ ය.

ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එය විවේචනය කළ බවත් , ඊට එරෙහි වූයේ LTTE ය පමණක් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර සිටියේ ය. එහිදී ඔහු පෙන්වා දුන්නේ , පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ මෙවැනි අවස්ථා වල කිසිවිටෙකත් ප්‍රතිවිරුද්ධ අදහස් දක්වා නොමැති බවය.

බ්‍රිතාන්‍යයේ දී මෑතකදී සිදුවූ මන්ත්‍රී ඝාතන 2ක් හමුවේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඒ කෙරෙහි අවධානය යොමුකර සිටියේ පාර්ලිමේන්තු ක්‍රමයට එල්ලවූ ප්‍රහාරයක් ලෙස මිස මන්ත්‍රීවරුන් මුහුණ දුන් පෞද්ගලික ප්‍රහාරයක් ලෙස නොවන බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

අමරකීර්ති අතුකෝරළ යනු නිහඬ චරිතයක් බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා ඔහු ආණ්ඩුවේ නිසා ඝාතනය වූවා නම් කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රහාරයට ලක්වූයේ ඇයි යනුවෙන් ද ප්‍රශ්න කළේය.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ගෝඨාභය රාජපක්ෂ ට ගෙදර යන්න කියූ පළමු වැන්නා බවත්, දැඩි ගෝඨාභය විරෝධී වෙල්ගම මන්ත්‍රීවරයා ප්‍රහාරයට ලක්වීම අදාළ ප්‍රදේශයේ පිරිසකගේ නොව පිටින් පැමිණි පිරිසකගේ මැදිහත්වීමක් තුළ සිදුවූවක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය .

ඒ බව මේ වන විට විමර්ශනවලදි අනාවරණය වී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය . එසේම එම තත්ත්වය රට පුරා සිදුවූ ගිනි තැබීම්, දේපළ හානි සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද අනාවරණය වී ඇති බවත් පැවසීය .

මේ අතර ශානක්‍ය රාසමාණික්කම් මන්ත්‍රීවරයා මැයි 20 සිදුකළ අදහස් දැක්වීම හැන්සාඩ් වාර්තාවෙන් උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බරපතළ ලෙස එම අදහස් සම්බන්ධයෙන් විරෝධය දැක්වීය .

එහිදී ඔහු විමසා සිටියේ "20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය දීම, 2020 -21 අයවැය සඳහා ජන්දය දීම ප්‍රචණ්ඩත්වයට මුහුණදීමට සිදුවීමක් නම් , එයින් අදහස් වන්නේ , ප්‍රතිවිරුද්ධ අදහසක් දැරීම, ප්‍රචණ්ඩත්වයට මුහුණදීමට සිදුවන්නක්ද යනුවෙනි.

එබැවින් අග්‍රාමාත්‍යවරයා ගේ තර්කය වූයේ විපක්ෂ නායක ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රචණ්ඩත්වය ප්‍රතිකේෂ්ප කර , ඒ සම්බන්ධයෙන් විරුද්ධව අදහස් දක්වා තිබියදී රාසමාණික්කම් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

එසේම ගෝල්ෆේස් ප්‍රහාරයේ සිට දියත් වූ සියලු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුවිය යුතුව ඇති බවත් ඔහු අවධාරණය කර සිටියේ ය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැක්වූ අදහස් පහත වීඩියෝවේ.

අනතුරුව නැවතත් සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරයා සිය උදෑසන අදහස් දැක්වීම සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් වෙනත් තැනක සිදුකර ඇති විවේචනයක් ගැනත් අනාවරණය සිටියේය .

ඒ පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් යොමුකරමිනි.

වඩාත් විශේෂ සිදුවීම නම් අග්‍රාමාත්‍යවරයා ගේ මේ කරුණු දැක්වූ අවස්ථා දෙකෙහිදීම වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙක් ඊට බාධා නොකිරීම ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ රීති ප්‍රශ්නය ඇතුළත් ප්‍රකාශය පහත වීඩියෝ වේ දැක්වෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න