Image

චීනාගේ හැටි පෙන්වයි : ණය ගෙවීමට ණයක් පමණයි !

චීනාගේ හැටි පෙන්වයි : ණය ගෙවීමට ණයක් පමණයි !

ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බවත්, එම ණය ගෙවීමට තවත් ණයක් ලබාදීමට හැකි බවත්, චීනය යෝජනා කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මේ අවස්ථාවේ ණය ගෙවීම අසීරු බවත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් ශ්‍රී ලංකාව ණය හිමියන්ට දැනුම් දී ඇති බව කී ඇමතිවරයා ණය දී ඇති බටහිර රටවල් එයට සාධනීය ප්‍රතිචාර දක්වා ඇතත් චීනය ඒ සම්බන්ධයෙන් වෙනත් ස්ථාවරයක් දරණ බවත් සඳහන් කළේය.

අමාත්‍ය නාලක ගොඩහේවා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ය.

චීනය ලෝකයේ විවිධ රටවලට ණය දී ඇති බැවින් එක රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගියහොත් අන් රටවලින් ද බලපෑමක් විය හැකි නිසා, එසේ නොකර ඒ ණය ගෙවීමට තවත් ණයක් දීමට සූදානම් බව ඔවුන් යෝජනා කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක 5ක හදිසි අවශ්‍යතාවයක් තිබෙන නිසාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය නිසාත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් ඊට උපකාර කිරීමට සූදානම් බව ප්‍රකාශ කිරීමම විශාල ශක්තියක් බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ තමයි චීනය !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ චීනය ස්වාභාවය මෙය බවත් එය පුදුමවීමට හෝ ලතැවීමට කාරණයක් නොවන බවත් ය.

"ඒ තමයි චීනය. ඔවුන් ලෝකයේ පුරා කටයුතු කර තියෙන්නේ මෙහෙම. විශාල ව්‍යාපෘති වෙනුවෙන් කිසිම ඇගයීමක් නැතුව ඔවුන් ණය නිකුත්කර සිටිනවා. දූෂිත ආණ්ඩු, මූල්‍ය කළමනාකරණය , විනිවිද භාවය , ගෙවීම් හැකියාව , මේ කිසිම දෙයක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ නෑ. මේ ගැන බලන්න සූඩානය වැනි රටවල් ඓතිහාසික නිදර්ශන. ඔවුන් රටවල් අවි හෝ වෙනත් භෞතික උපක්‍රම හරහා ආක්‍රමණය කරන්නේ නෑ . නමුත් ණය දීම හරහා එය සිදුකර ආර්ථික මර්මස්ථාන අත්පත් කර ගන්නවා. රාජපක්ෂවරුන් ට ඔවුන් ලැදි මේ නිසා . දැන් කරන්න දෙයක් නෑ . කුම්බලා මාළු කෑවා නම් බළලෝ විඳවපන් තියරිය තියෙන්නේ " යැයි අප වෙත අදහස් දැක්වූ දේශපාලන විචාරකයකු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න