Image

සිවිල් නොවන රොහාන්ට ලැබිය හැකි ඉහළ ම ගෞරවය

සිවිල් නොවන රොහාන්ට ලැබිය හැකි ඉහළ ම ගෞරවය

පසුගිය 12වෙනි දාට රොහාන් පෙරේරා මියගොස් වසර දෙකක් ඉක්ම ගියේය. 

12 වෙනිදා රොහාන් සම්බන්ධයෙන් කිසිවක් නොලියන්නේ ද කියා රංග විමසා සිටි මුත් අද දින නිකුත් වූ අලුත් Eidos වීඩියෝව ඔහුට ඓතිහාසිකව සම්බන්ධයක් තිබෙන්නක් වන නිසා ඔහු ගේ සැමරුම් දිනය වෙනුවෙන් එය ඔහුට ප්‍රදානය කිරීමට මට වුවමනා විය. එනිසා 12වෙනි දා ඔහු ගැන කිසිවක් නොලියා සිටීමට මම තීරණය කළෙමි.

සැඟවිය යුතු ලැජ්ජාසහගත අතීතය

නමුත් පුදුමසහගත ලෙස වෙන කිසිවකුට රොහාන් පිළිබඳව එදින කිසිවක් ලියන්නට මතකයේ තිබුණේ නැත. පවුල් ගොඩනගන්නේ නොමැතිව සමාජයට දැනුම රැගෙන යෑම වෙනුවෙන් කැප වුණු, ඒ වෙනුවෙන් උපාය උපක්‍රම තේරූ මිනිසකු ගේ දෛවය මෙය යි. ඉතිහාසයේ වේදිකාවෙන් ඔවුන් නිහඬව බැස යයි. සාංඝික දාන නැත. මතක බණ නැත. ශිෂ්‍යයින් පුවත්පත්වලට ලියන අගය කිරීම් නැත. පුවත්පත් ලිපි පළ කළ හැකි ආයතනගත බලයක් හිමි ශිෂ්‍යයින් ඔවුනට නැත. සිටින්නේ නම් ඒ අයට මෙවැනි මිනිසුන් යනු ළමා කල දිළිඳු නෑයන් බඳු, සැඟවිය යුතු, ලැජ්ජාසහගත අතීතයක් පමණි.

රොහාන්

'සිවිල් නොවන වැඩ' කිරීමේ වන්දිය

රොහාන්ගේ වචනවලින් කියන්නේ නම් 'සිවිල් නොවන වැඩ' කිරීමේ වන්දිය මෙයයි. එය අපේ පුද්ගල මමංකාර වෙනුවෙන් එතරම් ප්‍රයෝජනවත් නැත. නමුත් තවත් අතකින් රොහාන් ගේ මැදිහත්වීම යුගකාරක වන බවත් ඉතාම පැහැදිලි වෙයි. දීප්තිගේ සිට කේ. කේ. සමන් කුමාර, සිරිමල් විජේසිංහ, නිහාල් පීරිස් ඇතුළු එක්තරා පරම්පරාවක් බිහි වීමේ බුද්ධිමය මූලය ඔහු ය. "ආදරය සඳහා හෝටන් තැන්න" සිට "මාතොට", "පාරාදීසය", "London" ඇතුළු අතිශය පුළුල් පරාසයක දේ රොහාන් නම් සාධකය නොමැති වූවා නම් මේ ආකාරයට නොපවතින බව ඉතාම පැහැදිලි වේ.

"Counter-factuals" (සිදු වූ දේ වෙනුවට වෙනත් දෙයක් සිදු වූවානම් ඉතිහාසයේ වියහැකි දේ) පිළිබඳව සිතීම අර්ථ විරහිත වෙයි. නිශ්චිත එකම දේ වන්නේ රොහාන් නොමැති වූවානම් අපේ රටේ මේ බුද්ධිමය ලෝකය කිසිදු අයුරකින් මෙලෙස නොපවතින බව පමණි.

ඉතිහාසයේ වේදිකාවෙන් නිහඬව ම බැස යෑම

rohan1

'සිවිල් නොවන' බුද්ධිම අරගල කිරීමේ වන්දිය මෙය යි. රොහාන්ගේ ලිවීම් එකතු කරන ව්‍යාපෘතියක් වෙනුවෙන් අප කීප දෙනෙකු ඔහු මියගිය දිනවල උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. විශ්වවිද්‍යාල බඳු ආයතනික බලයක් නොමැතිව මෙවැනි දේ කිරීම කිසිසේත් පහසු නොවේ. නමුත් මේ ආකාරයේ මිලිටන්ට් සටන්කරුවන්ගේ දෛවය මෙයයි. ඔවුන් කරනා බලපෑම විශාල වුවත් එය 'සමරා' ඔවුන් ගැන ගුණ වයා කිසිවකුට වාසියක් අත්වන්නේ නැත.

සිය CV එකට දමා ගත හැකි 'සංස්කරණය කරන ලද ග්‍රන්ථයක්' බඳු දෙයක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට රොහාන්ට උරුම වන්නේ නිහඬව ඉතිහාසයේ වේදිකාවෙන් බැස යාමටයි.

නමුත් 'සමරු ග්‍රන්ථ' නිකුත් වූ බොහෝ මහාචාර්යවරුන්ට වඩා රොහාන් කළ මැදිහත්වීම 90 දශකය වෙනස් කිරීමට සමත් වූ මැදිහත්වීමක් බව අපි දනිමු.

'සිවිල් නොවන රොහාන්ට' ඔහුගේ මරණ දිනයේ සටහනක් තබන්නට කිසිවකු ඉදිරිපත් නොවීම ලැබිය හැකි ඉහළ ම ගෞරවය නොවේද?

vangeesaවංගීස සුමනසේකර

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න