Language Switcher

V2025

සිරිල් ගාමිණි පියතුමාගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත දිසානායක, එහි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඩබ්ලිව්. තිලකරත්න, පොලිස්පතිවරයා, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සාලේ, කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ නීතිපතිවරයා නම් කර ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමන් වහන්සේට හෙට (03) පෙරවරු 9.30ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් සිදුකර ඇති බවත් ඉන් අනතුරුව තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් වහන්සේ අත්අඩංගුවට ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවත් පෙත්සම ඉදිරිපත්කරමින් සිරිල් ගාමිණී පියතුමා කියා සිටී.

ඒ අනුව තමන් වහන්සේව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින සිරිල් ගාමිණි පියතුමා වගඋත්තරඅකරුවන්ගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඉකුත් 25 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති සංවාදයකදී තමන් වහන්සේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීම තුළින් දණ්ඩ නීති සංග්‍රහය සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදවල් සිදුකර ඇති බවට චෝදනා කරමින් විමර්ශන සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද එම පෙත්සමින් සඳහන් වේ.

එහෙත් තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවද සිරිල් ගාමිණි පියතුමා කියා සිටී.