ලෝකයේ විදේශීය රාජ්‍ය නායකයින්, විදේශ කටයුතු අමාත්‍යවරුන් හෝ තම රට නියෝජනය කරමින් විදේශ රටවලට යන රාජ්‍ය නියෝජිතයින් සියලු දෙනා ම අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළ යුතුය යන නියමයක් නොමැත.
ඔවුන් තම තමන් ගේ මවු භාෂාවෙන් ම සරලව සහ නිදහසේ කතා කිරීම ලෝක දේශපාලනය තුළ සාමාන්‍ය දෙයකි.
භාෂා ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සම්බන්ධතා
උදාහරණයක් ලෙස, ප්‍රංශය රටේ නියෝජිතයින් වෙනත් රටවලට ගියත් බොහෝ විට ප්‍රංශ භාෂාවෙන් ම කතා කරති. එසේම ස්පාඤ්ඤ රටේ නියෝජිතයින් ස්පාඤ්ඤ භාෂාවෙන් ද, ජර්මනියේ නියෝජිතයන් ජර්මන් භාෂාවෙන් ද, චීනයේ නියෝජිතයින් චීන භාෂාවෙන් ද, රුසියාවේ නියෝජිතයින් රුසියානු භාෂාවෙන් ද, තම අදහස් ප්‍රකාශ කරති. තම රටේ භාෂාව ජාත්‍යන්තර වේදිකාවල භාවිත කිරීම පිළිබඳව ලැජ්ජා විය යුතු කිසිදු හේතුවක් නොමැත. එය රටක අනන්‍යතාව සහ ගෞරවය නියෝජනය කරන දෙයකි. නමුත් ශ්‍රී ලංකාව බඳු රටවල, කොලනීය යුගයේ බලපෑම හේතුවෙන් අධ්‍යාපන පද්ධතිය දිගු කාලයක් ඉංග්‍රීසි භාෂාව මූලික කරගෙන වර්ධනය වී තිබේ. විශේෂයෙන් මුල් කාලයේ මීෂනාරි පාසල් බොහෝ සංඛ්‍යාවක් තිබූ බැවින්, ඒවායේ අධ්‍යාපනය බොහෝ විට ඉංග්‍රීසි භාෂාවෙන් ම ලබා දී තිබුණි. කොළඹ මධ්‍යගත ප්‍රධාන පාසල් බොහොමයක ද ආරම්භයේ දී අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන්ම ලබා දී තිබුණි. පසුව දේශපාලනික වෙනස්කම් සමග ජාතික භාෂා ප්‍රතිපත්ති ඉදිරිපත් වූ අතර, එය අධ්‍යාපන පද්ධතිය තුළ ද විවිධ වෙනස්කම් ඇති කළේ ය. මේ වෙනස්කම් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම, භාෂා ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව බොහෝ විවාද ඇති කර ඇත.
රටේ ස්ථාවරය ද, ගෞරවය ද, නිසි ලෙස නිරූපණය වන්නට නම්...
අද ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ වැදගත් වන්නේ කෙනකු කුමන භාෂාවෙන් කතා කරනවා ද යන්න නොව, තම රටේ ස්ථාවරය පැහැදිලිව සහ ගෞරවයෙන් ජාත්‍යන්තර වේදිකාවල ඉදිරිපත් කිරීම යි. කෙනකුට ඉංග්‍රීසි භාෂාව සරලව කතා කිරීමට නොහැකි නම්, ඔහුට තම මවු භාෂාවෙන් කතා කළ හැකි ය. එවැනි අවස්ථාවල දක්ෂ පරිවර්තකයකු හෝ ඉංග්‍රීසි භාෂාව දන්නා නිලධාරියකු සමග ගමන් කිරීම ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කරන සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයකි. නොදන්නා භාෂාවකින් සෘජුව කතා කිරීමට උත්සාහ කිරීමකට වඩා, තම මවු භාෂාවෙන් පැහැදිලිව අදහස් ප්‍රකාශ කරමින් පරිවර්තකයකු ගේ සහය ලබා ගැනීම වඩා වගකීම් සහිත හා ගෞරවයෙන් යුතු ක්‍රමයකි. එමගින් රටේ ස්ථාවරයද ගෞරවයද ජාත්‍යන්තර වේදිකාවල නිසි ලෙස නිරූපණය වේ. එබැවින් දැනට ශ්‍රී ලංකාවේ ආණ්ඩු බලය දරන ජේවීපී දේශපාලන නායකයන්ගෙන් අප කරන සභ්‍ය හා ගෞරවයෙන් යුතු ඉල්ලීම වන්නේ, රටේ ගෞරවය හා කීර්තිය සුරක්ෂිත කරමින් ජාත්‍යන්තර වේදිකාවල වඩා වගකීම් සහිතව හැසිරීමයි.
ජාත්‍යන්තර වේදිකාවල රටේ ගෞරවය රැකගන්න
ඔබට සරලව නොදන්නා භාෂාවකින් සෘජුව කතා කිරීමට උත්සාහ කිරීම වෙනුවට, තම මවු භාෂාවෙන් කතා කරමින් එයට සුදුසු පරිවර්තකයකු සමග සහභාගී වීම වඩාත් සුදුසු ක්‍රමයකි. අවසානයේ දී අපගේ පණිවිඩය සරල ය. රට නියෝජනය කරන නායකයින් ගේ එක් වචනයක් පවා ජාත්‍යන්තරයේ දී රටේ ගෞරවය නියෝජනය කරයි. එබැවින් නොදන්නා භාෂාවකින් කතා කර රට අපහසුතාවයට පත් වන තත්ත්වයක් ඇති නොකරන ලෙස අප ගෞරවයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම, එවැනි අවශ්‍යතාවකින් තොර ක්‍රියාමාර්ග ඔබ ගේ පක්ෂ කාර්යාල ඇතුළත සීමා කර ගන්නා ලෙසත්, ජාත්‍යන්තර වේදිකාවල රටේ ගෞරවය රැකගන්නා ආකාරයෙන් හැසිරෙන ලෙසත් අපගේ පණිවිඩය වේ.

යූ. එච්. හයිදර් අලි

