සාමාන්‍ය වහරින් පවසනවා නම් රට ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවක දී පළමුවෙන් ම එය දැනෙන්නේ ගෙදර අම්මාට, බිරිඳට යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ඔහු මේ අදහස් පළ කළේ පසුගිය අටවන දා මාතලේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා දින සැමරුමට සහභාගී වෙමිනි.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...
වර්තමාන ආණ්ඩුවත්, ආණ්ඩුවේ හයිය පෙන්නන්න කාන්තා දිනය පාවිච්චි කරනවා
"ප්‍රථමයෙන් මම ස්තූතිවන්ත වෙනවා පක්ෂය වෙනුවෙන් අද ලෝක කාන්තා දිනය දවසේ මාතලේ ඔබ තමුන්නාන්සේලා පක්ෂය වෙනුවෙන් කාන්තා සම්මේලනයක් පැවැත්වීම පිළිබඳව. ඒ වගේම තමයි මේ රටේ මොන අභියෝගය ආවත් ඒ ආර්ථිකය වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන් දේශපාලනික වෙන්න පුළුවන්, මේ හැම අභියෝගයකටම ඉස්සෙල්ලා ම මුහුණ දෙන්නේ කාන්තාවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් යුද්ධය අවසන් කරනකොට ඒ යුද්ධය අවසන් කිරීමට ගිය මාර්ගය ඇතුළේ යුද්ධය පැවති කාලසීමාව තුළ මේ රටේ කාන්තාවෝ අසීමිතව දුක් වින්දා අම්මාවරු. තමන්ගේ දරුවව යුද බිමට යවනකොට ඒ වේදනාව දැනෙන්නේ අම්මාවරුන්ට. තමන් ගේ දරුවා හෝ දැරිය යුද බිමට යවලා මේ මාතෘ භූමියට නිදහස ලබා දෙන්න ඔබ වැනි මම වැනි තරුණ තරුණියන් වැඩිහිටියන් දහස් ගානකට ජීවිත බියක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නිදහසක් ලැබුණා. ඒ සඳහා මේ රටේ මෑණිවරුන් දියණියන් කැපවීම් කෙරුවා. රටේ ආර්ථික වශයෙන් යම් පසුබෑමකට ලක්වෙන අවස්ථාවක දී පවා ඉස්සෙල්ලා ම දැනෙන්නේ ගෙදර අම්මාට, බිරිඳට, කුස්සියට අපේ භාෂාවෙන් කියනවා නම්. වර්තමාන රජය තුළත් පවතින්නාවූ අසීමිත බදු ප්‍රතිපත්තිය තුළ උහුල ගන්න බැරි ජීවන වියදම ඇතුළෙ අසීමිත දුක් වේදනාවට මුහුණ දෙන්නේ ගෙදර අම්මා, බිරිඳ. ඒ නිසා තමයි හැම දේශපාලන පක්ෂයක්ම; හැම පක්ෂයක්ම තමන් ගේ දේශපාලන පසුබිම ඇතුළෙ පක්ෂය ගොඩනගන වැඩපිළිවෙළ ඇතුළෙ වර්තමාන ආණ්ඩුව පවා තමන්ගේ ආණ්ඩුවේ හයිය පෙන්නන්න අද කාන්තා දිනය පාවිච්චි කරන්නේ. අද රටේ ලෝකයේ දේශපාලනය ඇතුළෙ වැඩියෙන්ම කතාවට පත්වෙන්නේ තරුණයා සහ කාන්තාව.
වැඩි ම පොරොන්දු දෙන්නෙ තරුණයට සහ කාන්තාවට
අපි තමුන්නාන්සේලාට මතක් කරනවා.අම්මගෙන් තමන්ගේ බිරිඳගෙන් ලැබෙන ආශීර්වාදය මත තමයි මේ සමාජය ගොඩනැගිලා තියෙන්නේ. ඒ හින්දා තමයි මාතෘ භූමිය අපේ අම්මා හා සමානව සලකන්නේ; ඒ අම්මට තියෙන ගෞරවය. ඒ තාත්තා තරුණයා සහෝදරිය සහෝදරයන් තමන් ගේ බිරිඳට, අක්කට, නංගිට ගෞරව කරන හා සමාන විදිහට තමයි ඔහු මේ මාතෘ භූමියට ආදරය කරන්නේ. ඔහු මේ සමාජයට ආදරය කරන්නේ. අම්මට තාත්තට ගරු කරන්න බැරි සමාජයක් තුළ රටකට ආදරේ කරන රටකට ගරු කරන සමාජයක් ගොඩනගන්නන බැහැ. ඕන ප්‍රතිපත්ති ප්‍රකාශනයක වැඩීම පොරොන්දු පත්‍රය දිහා බැලුවමත් පේන්නේ තරුණයට සහ කාන්තාවට. ඒ ප්‍රායෝගිකව බිම මට්ටමේ යථාර්ථයක් වෙනවද නැද්ද කියන කාරණය වෙනත් දෙයක්. හැබැයි හැම දේශපාලන පක්ෂයක්ම ඒ පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරනවා. හැබැයි අපි විශ්වාස කරනවා මේ රටේ නිදහස වගේම අපේකම සංස්කෘතිය ආගම දහම ඇතුළේ ගොඩනැගෙන සමාජය තුළ ස්වේච්ඡාවෙන් දෙපයින් හිටගෙන තීන්දු තීරණ ගන්න පුළුවන් කාන්තාවක් බිහිකරන්න. රජය විශ්වාස කරන දේශපාලන පක්ෂ විශ්වාස කරන පුද්ගලයන් විශ්වාස කරන දෙයින් එහාට ගිහිල්ලා තමන් දෙපයින් හිටගෙන තමන් ගේ අනාගතය ගොඩනගන්න පුළුවන්, තීන්දු තීරණ ගන්න පුළුවන්, ආත්ම ශක්තියක් එක්ක තීරණ ගන්න පුළුවන්, කාන්තාවක් සහ පරිසරයක් අපේ රටේ තියෙනවා.

අරගලයෙ දි අපි අඩියක් පස්සට ගත්තා
එදා මහින්ද ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම තුළ මේ රටේ නිදහස ලැබුවා පමණක් නොවේ. ඒ තුළ සමාජයේ ව්‍යසනයන් නතර වුණා. රාජ්‍ය ආරක්ෂා වුණාා වගේම ව්‍යසනයකින් සමාජය බේරා ගත්තා. මිනිස් ජීවිත අහිමි වෙන එකකින් බේරගත්තා කෝවිඩ් 19 වසංගතය එනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තීන්දු දෙකක් ගන්න වෙනවා එකක් රටේ ආර්ථිකය සහ ජාත්‍යන්තර සංවිධානවල අවශ්‍යතාවය මත හැඩගැහෙනව ද රටේ සමාජ ව්‍යසනයකින් රට මුදවා ගෙන මිනිස් ජීවිත ආරක්ෂා කරනව ද කියන එක. එදා අපි ආණ්ඩුව තීන්දු කරා; නෑ අපිට මොන අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වුනත් මිනිස් ජීවිත ආරක්ෂා කරගන්න ඕන කියලා. පහුගිය කාලේ අරගලයක් ආවා ඒ අරගලයට හේතු සාධක බොහොමයක් ඇති. සමහර අයට සමහර ඒවා සාධාරණ ඇති සමහර ඒවා අසාධාරණ වෙන්න පුළුවන්. තවත් සමහර ඒවා දේශපාලන කාරණා වෙන්න්න පුළුවන් හැබැයි ඒකට මුහුණ දීපු විදිහ අපි ආණ්ඩුවක් විදියට තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් සහ යම් අතපසුවීම් සිද්ධ වුණා. හැබැයි සමාජ ව්‍යසනයකින් රට බේරගන්න අපි සමත් වුණා. බංගලිදේශය නේපාලය වගේ දහස් ගාණක් මිනිස් ජීවිත අහිමි කරලා රාජය ආරක්ෂා කරගන්නා වෙනුවට එදා ගෝඨාභය ගේ ආණ්ඩුව තීන්දු කරා සමාජ ව්‍යසනයකින් රට බේරගන්න අඩියක් පස්සට ගන්න. ඒ තුළින් රාජ්‍යය ආරක්ෂා වුණා ආණ්ඩුව බිඳ වැටුණා. ඒ ආණ්ඩුව බිඳවැටිලා රාජ්‍ය ආරක්ෂා වීම තුළ තමයි අද ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළේ දේශපාලනික වශයෙන් ආණ්ඩු පෙරළියක් කරන්නත් ආණ්ඩු පිහිටවන්නත් තීන්දු තීරණ ගන්නත් හැකියාව ලැබිලා තියෙන්නෙ.එදා අපි තවත් සමාජ ව්‍යසනයකට ගියා නම් අද අපේ ගම්වල අම්මල තාත්තලාගේගේ දරුවා දුවලා දහස් ගානකගේ ජීවිත අහිමි වෙනවා . ඒ හින්ද අපි හැමදාම පක්ෂයක් විදියට සමාජයේ ව්‍යසනවලින් රට බේරගන්න තීන්දු කරේ. යුද්ධය අවසන් කරෙත් කෝවිඩ්වලින් ජීවිත බේරගත්තෙත් අරගලේ අඩියක් පස්සට ගත්තෙත් ඒ නිසයි.
අනුර ජනපති ආදර්ශයට ගත්තෙ සිරිමාවෝ මැතිනිය
මේ රටේ කාන්තාවන් දේශපාලන භූමිකාව ඇතුළත පෙරලිකාර චරිත බොහොමයක් තියෙනවා.අපේ කලාපෙත් එහෙමයි. ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ගෙන් පටන් ගත්තම ඉන්දිරා ගාන්ධි මැතිනිය, බෙනාසීර් භූතෝ මැතිනිය, ශෙයික් හසීනා මැතිනිය ලෝක භූගෝලීය දේශපාලනය ඇතුළේ අසීරු තීන්දු තීරණ ගන්න අවස්ථාවන්වල දී රාජ්‍ය පාලනය කරපු කාන්තාවන්. ශක්තිමත් කාන්තාවන් තමන්ගේ රට ප්‍රමුඛ කොටගෙන ව්‍යසනයන් තුළින් ලෝකය බේරගන්න පුළුවන් ආකාරයේ තීන්දු තීරණ ගත්ත කාන්තාවන්. අද අපි එක පැත්තකින් සතුටු වෙනවා වර්තමාන ජනාධිපතිවරයාත් එදා 1971 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගත්තු තීන්දුව හා සමාන තීරණයක් වර්තමානයේ මැද පෙරදිග අරාබි කලාපයේ යුදමය වාතාවරණය ඇතුළෙ අපිට මුහුණ දෙන්න තිබිච්ච අභියෝගයේ දී ගත්තු තීන්දුව පිළිබඳව. මම විශ්වාස කරනවා ඔහුට ඒ ආභාෂය ලැබුණේ 1971 සිරිමාවෝ බණ්ඩාරනායකය මැතිණිය ගත්ත තීන්දුවත් එක්ක. ඒ හින්ද අපේ රටේ කාන්තාව ශක්තිමත්ව ගොඩනැගිච්ච ඉතිහාසයක් තියෙනවා. අනාගතයට මුහුණ දෙන්න තියෙන අභියෝග වෙනස්.
පෙරදිග කලාපයේ වගේ ම ඊශ්‍රායලයේ ඉන්න අපේ අය පිළිබඳව සොයා බැලිය යුතුයි
අනාගතයේදී රටක් ලෝකයක් විදියට අපිට මුහුණ දෙන්න අභියෝග වෙනස්. මීට දවස් අටකට දහයකට කලින් තිබුණු ලෝකයේ නෙවෙයි අද තියෙන්නේ. අද ඊට වඩා වෙනස් වෙච්ච අභියෝග සහ අනාගතය පිළිබඳ ඉච්ඡාභංගත්වය බලන් වෙච්ච කාලයක් බවට අද පත්වෙලා තියෙනවා. අපේ රටේ බහුතරයක් කාන්තාවන්; මැද පෙරදිග සේවය කරන බහුතරයක් කාන්තාවන්. අද ඒ අය තමන් ගේ හෙට දවස පිළිබඳව අපේක්ෂාවෙන් බලන් ඉන්නවා. ඒ අයගේ ගෙවල්වල අය තමන් ගේ දුව, තමන් ගේ අම්මා, තමන් ගේ නංගී මැද පෙරදිග කලාපයේ ඇතුළෙ වර්තමානයේ කොහොමද ජීවත් වෙන්නේ කියන කාරණය පිළිබඳව උවමනාවෙන් බලන් ඉන්නවා; වේදනාවෙන් බලන් ඉන්නවා. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු වෙයි කියලා විශ්වාස කරනවා. තවත් පැත්තකින් මැද පෙරදිග කලාපය වගේ ඊශ්‍රායලය වගේ රටවල ලංකාවේ තරුණ තරුණියන් බොහෝ පිරිසක් සේවය කරනවා. ඒ අයගේ ආරක්ෂාව පිළිබඳවත් අම්මලා තාත්තලා ගම්වල තවත් වේදනාවෙන් දුකින් බලාගෙන ඉන්නවා. ඒ සඳහා රාජ්‍යය මැදිහත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. හැකිතාක් ඉක්මනට ඒ අයගේ ආරක්ෂාව තහවුරු කරන්නත් ඒ අයට අපෙන් ඉටුවිය යුතු යුතුකම් ඉටු කරන්නත් රාජ්‍ය මැදිහත් විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

පක්ෂය මතවාදීව ඉදිරියට අරගෙන යන්න පුළුවන් තරුණ පිරිසට යි
අද අභියෝග වෙනස් වීගෙන යනවා. සමහරවිට අපි මේ කතා කරන කාරණා නෙමෙයි තව පැය 48 කින් අපිට කතා කරන්න වෙන්නේ. ලෝකය ඒ තරම් වේගයෙන් යුදමය වාතාවරණයකට අහුවෙලා තියෙනවා. අපි රටක් විදිහට මුහුණ දෙන්නේ කොහොමද යුද්ධයෙන් පීඩා විඳපු ආකාරය පිළිබඳව අපි දන්නවා. අපි කවුරුවත් යුද්ධවලට එකඟ නෑ. යුද්ධ කියන්නේ දරුණු විදිහට ජීවිත අහිමිවෙනවා දෙපාර්ශවයෙන්ම. අපි රටක් විදියට මේ ගොඩනැගෙන අභියෝගවලට මුහුණ දෙන්නේ කොහොම ද, ඒ සඳහා අපි සූදානම් වෙන්නේ කොහොම ද, ඒ වගේම අනාගතයේ ඔබේ දරුවා ගොඩනැගෙන්නේ මේ රටේ අපේක්ෂාවෙන්. ඔවුන්ව මේ රටේ ගොඩනගන්නේ කොහොම ද, අපි විශ්වාස කරන බලවේගයක්. අපි නවීකරණයේ වෙන්නඕන. අද මම සතුටු වෙනවා අද අපේ පක්ෂයේ ශක්තිමත්ම සංවිධාන අතරින් ප්‍රමුඛතාවය ගෙන සංවිධානයක් විදිහට අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය අපි මහත් ආඩම්බරයෙන් හඳුන්වා දෙන්න පුළුවන්. ඒවගේම තමයි අද අපේ වේදිකාවේ ඉදිරිපෙළ කතිකයෝ දිහා බැලුවම අද මේ වේදිකාවෙත් ඒ අය කතා කෙරුවා ඉතාමත් දක්ෂ විදිහට. පක්ෂය මතවාදීව අරගෙන යන්න පුළුවන් තරුණ කාන්තා කථිකයින් නායිකාවන් අපේ පක්ෂයේ වේදිකාව තුළ ගොඩනැගීම පිළිබඳවත් මම අවංකවම හදවතින්ම සතුටු වෙනවා.
රටේ අනාගතය ගොඩනගන්නේ කාන්තාවන් ගෙන් ලැබෙන ආභාෂය සහ ශක්තිය යි
මම විශ්වාස කරනවා නූතන පරපුරට ගැළපෙන දේශපාලන බලවේගයක් බවට අපට පත් කරන්න පුළුවන්. අපි සමාජයේ කතිකාවක් ගොඩනගලා තියෙනවා කාන්තා නියෝජනය සම්බන්ධයෙන්. අද පළාත් සභාවල ප්‍රාදේශීය සභාවල කාන්තා නියෝජනය තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා; අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුව තුළත් එවැනි කාන්තා නියෝජනයක් බිහි කරන්න පුළුවන් වාර්තාවරණයක් අපි අපේ රටේ ගොඩ නගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදීමට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. රටේ තීන්දු තීරණ ගන්න තැන වගේම මේ රටේ ඊළඟ පරම්පරාවට ගැළපෙන දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කරන තැන මම විශ්වාස කරනවා කාන්තාවට ප්‍රමුඛ කාර්යභාරයක් වගේම කර්තව්‍යයක් වගකීමක් ඉටුකිරීමට ඇති බව. ඕනෑම කෙනෙක්ට අම්මගේ අගේ තේරෙන්නේ තමන් තාත්ත කෙනෙක් වෙච්ච දවසට. බිරිඳගේ අගය තේරෙන්නෙ තමන් තාත්තා කෙනෙක් වෙච්ච දවසට. ඒ හින්දා අපි කොච්චර මොනවා කිව්වත් අවසානයේ මේ රටේ අනාගතය ගොඩනගන්නේ ඒ කාන්තාවන්ගෙන් ලැබෙන ආභාෂය සහ ශක්තිය වගේම අපි අමතක නොකළ යුතු කාරණයක් සමාජයේ සමහර අවස්ථාවල එය වෙනත් විදියකට අර්ථකථනය කළත් ගෙදර අම්මගෙන් බිරිඳගෙන් ලැබෙන ආශිර්වාදය මත කියන එකත් අපි අමතක නොකළ යුතුයි කියන එක

සුදුස්සාට සුදුසු තැන ලබා දිය යුතුයි
අද ලෝක කාන්තා දිනය බොහෝ වෙලාවට අපි සම තැන නිසි තැන ගැන කතා කරනවා. අපි සාකච්ඡා කරනවා අපි විශ්වාස කරනවා මේ රටේ ගොඩනගන්න පුළුවන්. මේ රට ගොඩනගන වැඩපිළිවෙළ ඇතුළෙ පිරිමි ද කාන්තා ද කියන කාරණය නෙවෙයි; සුදුස්සාට සුදුසු තැන ලබා දෙන්න පුළුවන් වාතාවරණයක් තුළ අපි ඉදිරියට යා යුතුයි. ඒ සඳහා ඔබ අත්වැල් බැඳගන්න අධිෂ්ඨාන කරගන්න. අම්ම ගේ, බිරිඳ ගේ ආශිර්වාදයෙන් ගොඩනැගිච්ච සමාජය ඇතුළෙ මේ මාතෘ භූමිය ඉදිරි කාල සීමාව තුළ වෛරයෙන් ඉරිසියාවෙන් කුහකත්වයෙන් තොර ගොඩනැගෙන සංස්කෘතියට ගරු කරන ආගම දහම එක්ක ජීවත්වෙන සමාජයක්, තරුණයෙක්, තරුණියක් බිහි කරන්න අපි අධිෂ්ඨාන කරගත කරගමුයි ආරාධනා කරමින් මම නිහඬ වෙනවා.''

