Language Switcher

V2025

කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය විකුණන්න හදනවා' - ජවිපෙ

පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ කිහිප දෙනෙකු ගෙන යන ක්‍රියාමාර්ගය වහා නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

එම පක්ෂයේ නායක අනුර දිසානායක අද (12) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය.

රටේ ජනතාව කොරෝනා වසංගතයෙන් බැටකන අතර වර්තමාන පාලකයන් ජාතික සම්පත් විශාල ප්‍රමාණයක් විදේශිකයන්ට පැවරීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටින බව ජවිපෙ නායකයා එහිදී සඳහන් කළේය.

ඔහු තවදුරටත් මෙසේද පැවසිය.

'' මේ පාලනය ගොඩනැගීමේ ප්‍රධානම සාධකයක් කරගත්තේ ජාතික සම්පත් ආරක්‍ෂා කරනවා කියන මතය. පැවති රනිල්-මෛත්‍රී ආණ්ඩුව ජාතික දේපළ විකිණීමට විරුද්ධව විශාල මතයක් ගොඩනැගී තිබුණා. ඒ මතය කොල්ලකමින් වර්තමාන පාලනය පිහිටවූවා.

හම්බන්තොට වරාය විකිණීමේදී අදාළ ගිවිසුම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයේදී ඊට විරුද්ධව මේ කිසි කෙනෙක් ඡන්දය දුන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ සිට රාජපක්‍ෂවරු ගණනාවක් පාර්ලිමේන්තුවේ හිටියත් වරාය චීනයට ලබාදීම හෝ බදු සහන ලබාදීමේ ගැසට් නිවේදනයට විරුද්ධත්වය ප්‍රකාශ කළේ නැහැ. එදත් එම විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවේදී ඡන්දය පාවිච්චි කළේ අපේ මන්ත්‍රී කණ්ඩායම විතරයි.

එදත් අපි පෙන්වා දුන්නේ මොවුන් ව්‍යාජ දේශප්‍රේමය තවරා ගත් අය බවයි. ඔවුන් ගෙන ගියේ බොක්කේ දඩමස් තියාගෙන හක්කේ බුදුරැස් තියෙන ක්‍රියාකලාපයක්. වර්තමාන බලය පිහිටුවාගෙන අපේ රටේ විශාල ජාතික සම්පත් ප්‍රමාණයක් විකිණීමට සූදානම් වෙනවා. ඒ වගේම විකුණා තිබෙනවා.

කොවිඞ් වසංගතය හමුවේ ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයන් ගැන සංවාදයක් කිරීමේ හැකියාව රට තුළ නැති තත්වයක් තුළ පවා ආණ්ඩුව කරන්නේ ජාතික සම්පත් විකුණා දැමීමයි.

පසුගියදා කැබිනට් මණ්ඩලය සූම් තාක්‍ෂණය ඔස්සේ කැඳවූ අවස්ථාවේ ඊට පෙර ලබා නොදුන් කැබිනට් පත්‍රිකාවක්, එම අවස්ථාවේදී පවා පත්‍රිකාවක් ලෙස ලබා නොදී මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ වාචිකව ඉදිරිපත් කළ කරුණු අනුව කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක් සහ ගෑස් ගෙන එන නළ පද්ධතියත් ගෑස් ගබඩා කරන ටර්මිනල් බලාගාරයත් ඇමරිකානු සමාගමකට විකුණන්න තීරණය කරලා.

විකිණීමේ කොන්දේසි, මිල ගණන්, අත්සන් කරන ගිවිසුම ආදී සියලු දේ පිළිබඳ අධිකාරී බලයක් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබාදී තිබෙනවා.

ආර්ථික ගැටලු, කොවිඞ් ව්‍යසනය, සම්බන්ධයෙන් උත්තර ජනතාව අපේක්‍ෂා කරද්දී ඇමරිකානු සමාගමකට කෙරවලපිටිය බලාගාරය පවරා දීමේ අවසන් තීන්දුව ගෙන තිබෙනවා. ඇමතිවරුන්ට කිසිදු අදහසක් ඉදිරිපත් කරන්න ඉඩ නොදී එම පත්‍රිකාව සම්මත කළ බව කාර්ය සටහන්වල සඳහන් කර තිබෙනවා.

වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීන සමාගමට :

මීට පෙර 2021.07.31 දින වරාය ඇමතිවරයා කොළඹ වරාය ආසන්නයේ ඉතාමත් වටිනා අක්කර 13ක් චීනයේ සී.අයි.සී.ටී. සමාගමට පවරා දෙන්නකැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර සම්මත කරගත්තා.

අපේ වරාය අධිකාරියට විශාල පර්යන්ත ප්‍රමාණයක් අද අයිති නැහැ. නමුත් විශාල ආදායමක් උපයන්නේ නාවික සේවා සැපයුම් ලබාදීම මගිනුයි. එමගින් 2018දී බිලියන 5.6ක ආදායමක් උපයා තිබෙනවා.

පසුගිය වසර දෙකේ යම් ප්‍රමාණයක ආදායම් අඩුවෙන්න ඇති. නමුත් දැන් ඒ සේවා සැපයීමේ අයිතිය අවුරුදු 35කට චීන සමාගමට ලබාදී තිබෙනවා. ඒවෙනුවෙන් අක්කරයක් බදුදී තිබෙන්නේ මාසයකට රු. ලක්‍ෂ 8.5ක් වැනි මුදලකට.

අක්කර එක හමාරක් සිමෙන්ති සමාගමකට ලබාදී තිබෙන්නේ මාසික කුලිය ලක්‍ෂ 22කට.

නමුත් චීනයට ලබාදී තිබෙන්නේ ලක්‍ෂ අට හමාරක කුලියකට. තවත් ඉඩමක් අක්කර 1.25ක් පමණ දී තිබෙන්නේ ලක්‍ෂ 135ක් වූ මාසික කුලියකට.

ජාතික දේපළ නිසි තක්සේරුවකට යටත් නොකර විශාල ධනයක් මේ අය උපයා ගන්නවා. ඒ ධනය සුදු කර ගැනීම සඳහා කළු සල්ලි සුදු කර ගැනීමේ පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්තා.

සෙලෙන්දිවා : ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම

මීට පෙර පර්ක් ආයතනය වශයෙන් ජාතික සම්පත් විකිණීමේ මෙහෙයුම් සිදුකළ ආයතනය අහෝසි වූවාට පසුව සෙලෙන්දිවා ආයතනය පිහිටුවා එම කාර්යය කරගෙන යන්න පටන් ගෙන තිබෙනවා.

ඩොලර් මිලියන 400ක් උපයා ගන්න විදේශ කටයුතු අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ල, ගෆුර් ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලය සහ අනුබද්ධ ක්‍රීඩා සංකීර්ණය විකුණා දැමීම සඳහා රාජපක්‍ෂ ආණ්ඩුව අප්‍රේල් 31වැනිදා පත්‍රිකාවක් සම්මත කරගත්තා.

කොම්පඤ්ඤ වීදියේගුවන් හමුදාවට අයත් ඉඩමක්, අක්කර 42ක් වූ වැලිකඩ බන්ධනාගාර ඉඩම විකුණා දැමීමට සැලසුම්කර තිබෙනවා.

දේපළ විකුණා ජීවත්වන නාස්තිකාර පියෙකුගේ භූමිකාව අද මේ පාලකයන් ප්‍රවේශ වී තිබෙනවා. හැබැයි ආණ්ඩුව බලයට ආවේ විකිණූ සම්පත් ආපහු ගන්නවා කියලා. බහුතර ජනතාවක් ජාතික සම්පත් ආරක්‍ෂා කරගන්න පරමාර්ථයෙන් ඉන්නවා. මේ පාලකයෝ බලයට ආවේඅන්න ඒ ජනතාවගේ ලෙංගතුභාවය අඩු මිලට කොල්ලකමිනුයි.

''කොමිස්වලට රටේ දේපළවිකුණමින් තිබෙනවා''

කොවිඞ් වසංගත තත්වය හමුවේ කවුරුත් තිගැස්මට පත්වෙලා ඉන්න වෙලාවක යටිකූට්ටු ලෙස කොමිස්වලට රටේ දේපළවිකුණමින් තිබෙනවා.

රාජපක්‍ෂ පවුලට අයිති දේපළ විකුණනවා නම් අපි කවුරුත් බාධා කරන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට හෝ ඔහුගේ පාලනයට රටේ සම්පත් පවරා දී නැති බව ඔවුන් තේරුම් ගත යුතුයි.

මේ පාලකයන්ගෙන් වැඩි පිරිසකගේ දේපළ තියෙන්නේ, දරු මුණුබුරන් ඉන්නේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්වල. එවැනි පාලකයෝ මේ රටේ පුරවැසියන්ට අයිති සම්පත් විදේශ සමාගම්වලට පවරා දෙමින් තිබෙනවා.

මේ අයට අපේ රට හෝ රටේ පුරවැසියන් පිළිබඳව ආදරයක් තිබෙනවා නම් වෙන රටක පදිංචි වෙන්නේ නැහැ. මේ අය ඇවිත් ඉන්නේ බිස්නස් එකකට බව පසුගිය ජනාධිපතිවරණයේදී අපි ජනතාවට අවධාරණය කළා. මොවුන් විවිධ විදේශ සමාගම්වලට අපේ රටේ දේපළ පවරා දෙන්න බලයට පත්වුණු කොන්ත්‍රාත්කරුවන්. රටේ පාලකයන් නෙවෙයි.

අපේ රටේ මුල් පුටුවෙත් මුදල් අමාත්‍යාංශ පුටුවෙත් වාඩිවෙලා ඉන්නේ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියක ඉන්න අය. මේ තත්වය පරාජය කළ යුතු බව ජනතාවට අවධාරණය කරනවා.

කොවිඞ් තත්වය හමුවේ මේ සම්බන්ධයෙන් ජනතාව සමග කරුණු පැහැදිලි කරන්න බාධා වී තිබෙනවා. නමුත් ආණ්ඩුව ඒ තත්වය තුළ රටට විනාශකාරී ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. මේ ක්‍රියාදාමයට එරෙහිව පොදු ජනතාව කරළියට පැමිණිය යුතුයි.

පසුගිය 06වැනිදා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධ අඩංගුව සූම් තාක්‍ෂණය මගින් වාචිකව ඉදිරිපත් කර කෙරවලපිටිය බලාගාරයේ අයිතිය ඇමරිකානු සමාගමකට ලබාදීමට ගත් තීන්දුව වහාම හකුළා ගත යුතුයි.

මෙවැනි කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව ලංකාවේ පළවැනි වතාවට තීන්දු අරන් තිබෙනවා. රටට, ජනතාවට විතරක් නෙවෙයි කැබිනට් මණ්ඩලයටත් හංගනවා.

රටට ඉදිරිපත් කරන්න බැරිනම්, ජනතාවට ඉදිරිපත් කරන්න බැරිනම්, විවෘතව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ඉදිරිපත් කරන්න බැරිනම් ඒ හැම දේකින්ම කියවෙන්නේ මේ ක්‍රියාවලිය ඇතුළේ තිබෙන හොරකමයි.

කෙරවලපිටිය බලාගාරය, වරාය ඉඩම්, අපේ රටේ පෞරාණික දේපළ විකිණීම සඳහා රාජපක්‍ෂ කොන්ත්‍රාත්කරුවන් දරන ප්‍රයත්නය පරාජය කළ යුතුයි. සියලු දෙනාට එය වෙනුවෙන් පෙළගැසෙන ලෙස අපි ආරාධනා කරනවා.”