අනීතික අත්අඩංගුවට ගැනීමට එරෙහිව : නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක් !

අනීතික අත්අඩංගුවට ගැනීමට එරෙහිව : නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිවේදනයක් !

විරෝධතාවල නිරත පිරිස් අනීතිකව අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

මේ බව සඳහන් නිවේදනයක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී විසින් නිකුත් කර ඇත.

එහිදී , ජනතාවට බලපාන පොදු ගැටලු සහ තමන්ගේ වෘත්තීය ගැටලු වෙනුවෙන් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල යෙදුණු සංවිධාන සහ වෘත්තිය සංගම් නායකයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කරන නීති විරෝධී ආකාරය දැඩි සේ හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙමඟින් උත්සාහ කරන්නේ රට තුළ භීතියක් ඇති කරමින් පොදු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනතාව නගන හඩ යටපත් කිරීමටදැයි ප්‍රශ්න කර සිටී.

අගෝස්තු 04 වැනිදා සිය වැටුප් අර්බුදය මුල් කරගනිමින් කොළඹදී විරෝධතාවක නිරතව ආපසු යමින් සිටි ගුරුවරුන් 36 දෙනෙකු ඇතුළත් 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන වරාය පොලීසියේ රඳවා තිබූ අතර ඔවුන් මුණ ගැසීමට එහි ගිය විපක්ෂ නායකවරයාට එම අවස්ථාව අහිමි කර තිබිණ. අගෝස්තු 05 වෙනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ එම පිරිස පුද්ගල ඇප මත මුදා හරින ලද්දේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමිනි.

මෙම අත්අඩංගුවට ගැනීම්වල නවතම සිදුවීම වන්නේ කොතලාවල පනතට එරෙහිව අගෝස්තු 03 වෙනිදා පාර්ලිමේන්තු පාරේ පැවැති උද්ඝෝෂණයට සම්බන්ධ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමයි. අගෝස්තු 05 වැනිදා රාත්‍රියේ සිරස රූපවාහිනියේ සාකච්ඡාවකට සහභාගී වී (අගෝස්තු 06 අළුයම) ආපසු යමින් සිටි ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේද සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් දෙදෙනෙකු විසිනි. සිසුවාගේ දැඩි ප්‍රශ්න කිරීම් නිසා නිල ඇඳුමෙන් යුත් පොලිස් නිලධාරියකු එම කටයුත්තට මැදිහත් වේ. මේ වනවිට එම විරෝධතාවලට සම්බන්ධව සිටි චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් ද අත්අඩංගුවට ගෙන ඇති අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප ද බලහත්කාරයෙන් රැගෙන ගොස් අත්අඩංගුවට ගෙන ඇත. කොතලාවල පනතට එරෙහි පිරිසක් ගමන් කළ බස් රථයකට ඇතුළු වූ සිවිල් ඇඳුමෙන් සැරසුණු තැනැත්තෙකු කිසියම් අයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධ සිදුවීමක් කථිකාචාර්ය අමින්ද ලක්මාල් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

මේ වනවිට කොවිඩ් - 19 වසංගත තත්ත්වයට රට දරුණු ලෙස ගොදුරු වෙමින් පැවතියද ඊට මුවාවෙමින් හෝ වෙනත් හේතු දක්වමින් ජනතාවට බලපාන ප්‍රශ්නවලට විසඳුම් ඉල්ලා කරන විරෝධතා මැඩ පැවැත්වීම හා ඒවාට නායකත්වයට දෙන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම හරහා භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සළකයි. එසේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කිරීම සෑම රාජ්‍ය සේවකයකුගේ වගකීමක් බවට සදහන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පිළිබදව පොලිසියට අවධාරණය කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කැමැතිය. රජයේ දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් නිරෝධායන නීති උල්ලංඝනය කරන විට අහක බලා ගෙන සිටින පොලීසිය තමන්ගේ ගැටලු වෙනුවෙන් ඉදිරියට එන පිරිස් වෙනුවෙන් තව ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ දෙබිඩි පිළිවෙත ගැන ජනතාවට රහසක් නොවේ. එම නිසා ගැටලුවලට පිළියම් සෙවිය යුත්තේ කොවිඩ් නිරෝධායන රීති දඩමීමා කරගෙන අදහස් මර්දනය කිරීමෙන් නොවන අතර නීතිය ඉක්මවා ක්‍රියා කිරීමෙන් ද නොවන බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනතාව ත්‍රස්ත කරවන සියලු ආකාරයේ මර්දනකාරී ක්‍රියාමාර්ගවලින් රටට යහපතක් නොවන බවද අවධාරණය කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න