දේශීයව නිපදවූ ඖෂධ 2ක් වෙළඳපොළට : මුල්තැන බැසිල්ට !

දේශීයව නිපදවූ ඖෂධ 2ක් වෙළඳපොළට : මුල්තැන බැසිල්ට !

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ඖෂධ වර්ග දෙකක් වෙළෙඳ පොළට නිකුත් කිරීමේ අවස්ථාව ඊයේ (06) රත්මලාන ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී පැවැත්වුණු අතර ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි.

මේ සම්බන්ධව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

වේදනා නාශකයක් වන ට්‍රැමඩෝල් (Tramadol) සහ තයිරොක්සීන් ඌණතාව වෙනුවෙන් භාවිත කෙරෙන ලෙවොතයිරොක්සීන් (Levothyroxine) යන ඖෂධ වෙළෙඳ පොළට නිකුත් කිරීම මෙහි දී සිදු විය. ට්‍රැමඩෝල් මිලිග්‍රෑම් 50 කරල් මිලියන 9.8ක් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ භාවිත වන අතර ලෙවොතයිරොක්සීන් මිලිග්‍රෑම් 50 පෙති මිලියන 98ක් පමණ වාර්ෂිකව භාවිත කෙරේ. මෙම ඖෂධ ආනයනය නතර කිරීම මගින් වාර්ෂික ඉතිරි වන මුදල රුපියල් මිලියන 88කි.

ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුව දේශීය නිෂ්පාදනය ප්‍රමුඛ කරගත් ආර්ථිකයක් ගොඩනැංවීමට රජය මේ වන විට කටයුතු කරමින් ඇති අතර එහි මූලික පියවරක් ලෙස තෝරා ගත් ආහාර ද්‍රව්‍ය 16ක ආනයනය සීමා කිරීමට කටයුතු කළ බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා එතුළින් මේ වන විට සාර්ථක ප්‍රථිපල ළගා කර ගැනීමට හැකි වී ඇති බව ද කියා සිටියේ ය. දේශීය ගොවියා කෙරෙහි විශ්වාසය තබමින් දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට කටයුතු කළා සේ ම ඖෂධ නිෂ්පාදනය ඇතුළු අනෙකුත් නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි උන්නතිය වෙනුවෙන් රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බව ද බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී පැවැසීය.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ රාජපක්ෂ මහතා සඳහන් කළේ පසුගිය රජය විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතයන වෙත ගෙවීමට විශාල ණය ප්‍රමාණයක් ඉතිරි කර තිබූ අතර එම ණය ගෙවා දැමීමට තමාට පෙර මුදල් අමාත්‍ය ධුරය දැරූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවයි. ඒ අතර ඖෂධ නිෂ්පාදන සංස්ථාව වෙත ගෙවීමට තිබූ රුපියල් මිලියන 1945ක මුදල ද පියවීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යවරයා මෙහි දී පැවැසීය.

ශ්‍රී ලංකාවේ භාවිත කෙරෙන ඖෂධවලින් 20%ක් පමණක් මේ වන විට දේශීය වශයෙන් නිපදවන අතර එය 50% දක්වා ඉහළ නැංවීම රජයේ අපේක්ෂාව බව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් පැවැසීය.

ඖෂධ නිෂ්පාදන සිදු ­කෙරෙන ආකාරය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී එක් වූ අතර මහාචාර්ය චන්න ජයසුමන සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරු ද මෙම අවස්ථාවට එක් වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න