Image

නූතන ඔදියා සාහිත්‍යයේ පිතෘවරයා (ඔදීෂාවේ ව්‍යාස සෘෂි)

නූතන ඔදියා සාහිත්‍යයේ පිතෘවරයා (ඔදීෂාවේ ව්‍යාස සෘෂි)

ෆකීර් මෝහන් සේනාපති 1843 ජනවාරි 13 දින එවකට ඔරිස්සා ප්‍රාන්තයේ මධ්‍යම පාන්තික පවුලක ලක්ෂ්මණ චරණ සේනාපති සහ තුලාසි දේවි සේනාපති යන දෙමාපියන්ට දාව උපත ලැබී ය. ඔහුට වයස අවුරුදු එකහමාරක් ගතවන විට ඔහුගේ පියා මිය ගියේ ය. මාස දාහතරකට පසු ඔහු ගේ මවද මිය ගියා ය. කුඩා කල සිටම ඔහුව රැකබලා ගන්නා ලද්දේ ඔහුගේ අත්තම්මා විසිනි. සේනාපති ගේ මාමා තරුණ ෆකීර් මෝහන් කෙරෙහි ඊර්ෂ්‍යා කළ අතර ඔහු ගේ අධ්‍යාපනයට ඉඩ දුන්නේ නැත. ඔහු ගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය ද ඔහු ගේ ඉගෙනීම ප්‍රමාද වීමට හේතු විය. ඔහු තම අධ්‍යාපන වියදම් පියවා ගත්තේ ළමා ශ්‍රමිකයෙකු ලෙස කටයුතු කිරීමෙනි.

ඔදිෂාවේ තෝමස් හාඩි

මායාදර් මාන්සිං විසින් සේනාපති විස්තර කර ඇත්තේ 'ඔදිෂාවේ තෝමස් හාඩි' ලෙසින් ය. ඔහු සංස්කෘත භාෂාවෙන් පරිවර්තනය කළ ද, කාව්‍ය රචනා කළ ද, සාහිත්‍යයේ බොහෝ ආකාරවලට උත්සාහ කළ ද, ඔහු මූලික වශයෙන් 'නූතන ඔදියා ගද්‍ය ප්‍රබන්ධයේ පියා' ලෙසින් හැඳින්වේ. 1897 සහ 1915 අතර ලියා ඇති ඔහුගේ නවකතා හතර, 18 වන සහ 19 වන සියවස්වල ඔදීෂාවේ සමාජ-සංස්කෘතික තත්ත්වයන් පිළිබිඹු කරයි.

අක්කර හයකුත් තුනෙන් පංගුව

booook

ඔහුගේ 'ලචමා' (Lachhama) නවකතාව දහඅට වන සියවසේ මරාතා ආක්‍රමණවලින් පසුව ඔදීෂාවේ අරාජික තත්ත්ව සමග ගනුදෙනු කරන ඓතිහාසික ආදර කතාවකි. වැඩවසම් ස්වාමියා විසින් ඉඩම් නොමැති ගොවීන් සූරාකෑම සම්බන්ධයෙන් කටයුතු කරන පළමු ඉන්දියානු නවකතාව ඔහු ගේ 'Chha maana Ataha Guntha' (අක්කර හයකුත් තුනෙන් පංගුව) නවකතාවයි. එය ලියා ඇත්තේ රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට බොහෝ කලකට පෙර හෝ ඉන්දියාවේ මාක්ස්වාදී අදහස් මතුවීමට බොහෝ කලකට පෙරය. ෆකීර් මොහාන් ඔදියා සාහිත්‍යයෙහි පළමු ස්වයං චරිතාපදානය වන 'ආත්ම ජීබාන චරිතා'හි ලේඛකයා ද වේ.

ඔදීෂා සංචාරය

ඔහුගේ 'Rebati' (1898) පළමු ඔදියා කෙටිකතාව ලෙස පිළිගැනෙයි. එය වසංගත කොලරාවෙන් පීඩාවට පත් වූ පසුගාමී ඔදීෂා ගම්මානයක ගතානුගතික සමාජයක සන්දර්භයෙහි අධ්‍යාපනය සඳහා ආශාවක් ඇති තරුණ අහිංසක දැරියකගේ කතාවකි. ඔහුගේ අනෙකුත් කතා නම් 'Patent Medicine', 'Daka Munshi', 'Adharma Bitta' යනාදියයි.

ඔහු 1892දී 'උත්කලා බ්‍රාමානම්' නම් දිගු කාව්‍යයක් ලීවේය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔදීෂා සංචාරය යන අර්ථය ඇති මෙම කාව්‍යය, යථාර්ථයේ දී සංචාරක සටහනක් නොව එකල ඔදීෂා ප්‍රාන්තයේ තත්ත්වය පිළිබඳ උපහාසාත්මක ලෙස ලියා ඇති විවරණයකි.

ඔදිෂාවේ ව්‍යාස සෘෂි

ඔහු 'නූතන ඔදියා සාහිත්‍යයේ පිතෘවරයා' වශයෙන් සැලකේ. 'ඔදිෂාවේ ව්‍යාස සෘෂි' යන අන්වර්ථ නාමයෙන්ද එතුමා හඳුන්වයි. හෙතෙම ඉන්දියාවේ ප්‍රකට ලේඛකයෙකු, කවියෙකු, දාර්ශනිකයෙකු මෙන්ම සමාජ ප්‍රතිසංස්කරණවාදියකු ලෙසින්ද හැඳින්විය හැකිය.

ඔහු ඉන්දියාවේ ඔදිෂා ප්‍රාන්තයේ (2011ට පෙර 'ඔරිස්සා' [Orissa] ප්‍රාන්තයේ) ප්‍රධාන වශයෙන් කතා කරන භාෂාවක් වන ඔදියා භාෂාවෙහි (2011ට පෙර 'ඔරියා' [Oriya] ලෙස හඳුන්වන ලදී) සුවිශේෂ අනන්‍යතාවය තහවුරු කිරීමෙහිලා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. සේනාපති ඔදියා ජාතිකවාදයේ සහ 'නූතන ඔදියා සාහිත්‍යයේ පියා' ලෙසින්ද හඳුන්වනු ලැබේ. හෙතෙම වයස අවුරුදු 75ක් ආයුෂ භුක්ති වින්දනය කරමින් සිට 1918 වර්ෂයේ ජුනි 14 දින මෙලොව හැර ගියේය.

ඔහු විසින් රචනා කරන ලද 'වැන්දඹුවගේ පුත් අනන්තා' කෙටිකතාව අසිතංජන සෙනෙවිරත්න සිංහල භාෂාවට පරිවර්තනය කර තිබේ. මෙම කෙටිකතාව අප (හොරගල විමලතිස්ස හිමි, මොහාන් ධර්මරත්න සහ අසිතංජන සෙනෙවිරත්න) විසින් පරිවර්තනය කරන ලද 'ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා' කෘතියෙහි අන්තර්ගත වේ.

ganga

'ගුප්ත ගංගාව සහ තවත් ඔදියා කෙටිකතා' කවිවර ප්‍රකාශනයකි

හෙරගල විමලතිස්ස හිමි

 

 

 

 

 

හොරගල විමලතිස්ස හිමි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න