කොරෝනා ඇඳන් තව ඇත්තේ 3,000ක් පමණයි : කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

කොරෝනා ඇඳන් තව ඇත්තේ 3,000ක් පමණයි : කරාපිටිය රෝහල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

කෝවිඩ් ආසාදිත රෝගීන් සඳහා වෙන්කර ඇති ඇඳන් 33,000න්, 30,000ක් පමණ ඊයේ (03) දිනය වනවිට රෝගීන්ගෙන් පිරී ගොස් තිබූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

කෝවිඩ් සඳහා වෙන් කෙරුණු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වනවිට 90%කට වැඩි රෝගීන් ප්‍රමාණයක් ඇතුළත්ව සිටින බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එමෙන්ම අතරමැදි මධ්‍යස්ථානවල ඉතිරිව ඇත්තේ 10%ක පමණ ප්‍රමාණයක් බවද ඔහු පවසයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක්

මේ අතර, රෝහල් කාර්ය මණ්ඩලයට කොවිඩ් ආසාදනවීමේ වර්ධනයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර තිබේ.

කොරෝනා රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කරන බැවින් සහ රෝහලේ විවිධ ඒකක තුළින් රෝගීන් වාර්තා වී රෝහල් කාර්ය මණ්ඩලයට ද ආසාදනවීමේ වර්ධනයක් ඇති බැවින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කරන බව එම ලිපියේ සඳහන් වේ.

කොරෝනා ආසාදිත සංකූලතාවන්ට ලක්වන රෝගීන් වෙත වැඩි ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා කොරෝනා ආසාදිත ශ්වසනාබාධ හෝ වෙනත් සංකූලතාවක් නොමැති රෝගීන් අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත සහ ප්‍රාදේශීය වසංගත රෝග අංශය වෙත දන්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් ඉඩ පහසුකම් ලැබෙන තුරු නිවෙසේ වෙත ප්‍රතිකාර ලබා දීමට යොමු කරන ලෙසත් එමගින් උපදෙස් දී ඇත.

එමෙන් ම සංකූලතා ඇති රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් කොරෝනා රෝගීන්ට වෙන්කර ඇති ඒකකවලින් ලැබෙන තුරු තමන්ගේ ඒකකවල වෙන්කර තබාගන්නා ලෙස ද අධ්‍යක්ෂවරයා සියලු අංශ ප්‍රධානීන් සහ විශේෂඥ වෛද්‍යවරු වෙත දැනුම් දී තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න

Publish modules to the "offcanvas" position.