Language Switcher

V2025

මෝෆින් ජාවාරමක් : මානව හිමිකම් සංවිධානයේ අනාවරණයක්

සැත්කම් ආශ්‍රිත කටයුතු සඳහා භාවිතා කරන "මෝෆින්" නම් ඖෂධය මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් සඳහා අලෙවි කරන, දකුණු කොළඹ ශික්ෂණ රෝහල ආශ්‍රිතව ක්‍රියාත්මකවූ  ජාවාරමක් සම්බන්ධව පසුගියදා ලංකා මානව හිමිකම් සංවිධානය විසින් අනාවරණය කෙරිණ.

මෝෆින් ඖෂධය ඇතුලත් ඖෂධ කුප්පියක් රුපියල් 1500 ක් වැනි මුදලකට විකුණා ඇති බවත්  එහිදී හෙළිදරව් කෙරිණ.

ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය දේශමාන්‍ය සරත් ජයන්ත පිරිස් , ලංකා මානව හිමිකම් සංවිධානයේ ජාතික සංවිධායක දිලූක වීරසූරිය, ලංකා මානව හිමිකම් සවිධානයේ ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ , මානසික සෞඛ්‍ය විශේෂඥ, මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාල් පෙරේරා CSR ආයතනයේ පැවැත්වූ එම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

එහිදී ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති ආචාර්ය දේශමාන්‍ය සරත් ජයන්ත පිරිස් පවසා සිටියේ මෙම ජාවාරම වසර දෙකක පමණ කාලයක සිට ක්‍රියාත්මකව ඇති බවය. එසේම මේ වන විට මෝෆීන් ඖෂධය, මත්ද්‍රව්‍යක් ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබියදී තවත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක්ද සමඟ අත්අඩංගුවට ගැනීමට වරකාගොඩ පොලිසිය කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුවෙන බවත් ඔහු පැවසීය.

මෙහිදී මානව හිමිකම් සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රජයේ ප්‍රධාන පෙලේ රෝහලකින් මේ ආකාරයට "මෝෆින්" වැනි ඖෂධයක් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමක් ලෙස එළියට යාම බරපතළ තත්ත්වයක් බවත් වහාම මේ සම්බන්ධව බලධාරීන් අවධානය යොමුකළ යුතු බවය.

  මානසික සෞඛ්‍ය විශේෂඥ, මත්පැන් මත්ද්‍රව්‍ය ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිශාල් පෙරේරා මෙහිදී පවසා සිටියේ හෙරොයින් වැනි භයානක මත්ද්‍රව්‍යක් සඳහා ඇබ්බැහිවූ අයෙකුට මෝෆින් හඳුන්වාදීම ධන නිධානයක් ලබාදුන් ආකාරයේ දෙයක් බවත් වහාම ඒ සිදුවන ජාවාරම් නැවත්වීම කල යුතුව ඇති බවයි.

මේ වන විට කාන්තාවන් වැඩි වැඩියෙන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රවර්ධනයක් පෙන්නුම් කරන බවත් විශේෂයෙන් එන්නත් සහ පෙති ආශ්‍රිත මත්ද්‍රව්‍ය භාවිතය කාන්තාවන් අතර ප්‍රචලිත බවත් ඔහු පැවසීය.

"කළුබෝවිල රෝහලේ සිදුවීමට අදාළ දැනට හඳුනාගෙන සිටින සුළු සේවිකාව කාන්තාවක්. අපෙන් ප්‍රතිකාර ගන්න එන ඒ දරුවන් අතරත් කාන්තා ප්‍රතිශතය ඉහළ ගිහින් තියනවා. මේක රටකට සමාජයක යහ පැවැත්මට හොඳ දෙයක් නෙවෙයි. වහාම ක්‍රියාත්මකව පිළියම් යෙදිය යුතු තත්ත්වයක්. විකිණීමටත්, ගැනුම්කරුවන් ලෙසත් කාන්තා මැදිහත්වීම වැඩිවීම හානිකරයි. මෙයින් අදහස් වෙන්නේ නා, පිරිමි මේවායින් ඈත් වෙලා කියලා. පිරිමිත් ඉන්නවා, නමුත් කාන්තාවන්ගේ පැවති සාපේක්ෂ අඩුබව දැන් වෙනස් වෙමින් වර්ධනීය බවක් පෙන්නුම් කරනවා. මේ සම්බන්ධව ලංකාවේ ඕන තරම් නීති තියනවා. ප්‍රශ්නය තියෙන්නේ ඒ නීති ක්‍රියාත්මක වෙනවාද යන්න සම්බන්ධවයි." යයිද ඔහු පැවසීය.

මේ අතර ලංකා මානව හිමිකම් සංවිධානයේ ජාතික සංවිධායක දිලූක වීරසූරිය පවසා සිටියේ, ඉදිරියේදී මත්ද්‍රව්‍ය පිටුදැකීම සම්බන්ධව විශේෂ ව්‍යාපෘතියක් ලංකා මානව හිමිකම් සංවිධානය විසින් සැලසුම් කර දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බවයි. 

WhatsApp Image 2021 07 23 at 21.44.27

WhatsApp Image 2021 07 23 at 21.44.29