Language Switcher

V2025

අද සර්ත් ෆේල්, සාත් ෆේල් - මංගල

"අද ෆේල් වෙලා තියෙන්නේ ස' ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965න් පසුව මේ රටේ ඡන්ද දායකයෝ මෝහනය වූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි. කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්." යැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ශ්‍රී ලංකාව, තාරුණ්‍යයේ ජවයේ එකමුතුවෙන් නිවැරදි දිශාවට ගෙනයාමේ අරමුණින් යුතුව තරුණ කණ්ඩායමකගේ මුලිකත්වයෙන් ආරම්භකර ඇති'සැබෑ දේශප්‍රේමියෝ' දේශපාලන ව්‍යාපෘතියේ පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ අදහස් දැක්වීය.

 මාධ්‍ය හමුව ජුලි 25 වන ඉරිදා කොළඹ ටී.බී. ජායා මාවතේ පිහිටි  'ෆ්‍රීඩම් හබ්' හි දී පැවැත්විණි.

"අද, පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්නට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි." යනුවෙන්ද ඔහු එහිදී පැවසීය.

'ෆ්‍රීඩම් හබ්' හි දී හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර දැක්වූ අදහස් පහත දැක්වෙයි.

"සැබෑ දේශප්‍රේමීන් පවත්වන මුල්ම මාධ්‍යය සාකච්ඡාවට Freedom Hub කාර්යාලයට පැමිණි ඔබ සියලු දෙනාව අපි සාදරයෙන් පිළිගන්නවා. අපි මේ ආරම්භක මාධ්‍යය සාකච්චාව පවත්වන්නට තීන්දු කරේ, ලංකා ඉතිහාසයේ කලුම පැල්ලමක් ලෙස සැලකෙන කලු ජූුලියට 38 වසරක් සපිරෙන මොහෙතේදීයි.

අද අපි රටක් හැටියට මුහුණ දෙමින් සිටින මහා විනාශයට හේතු හදපු තවත් එක තීරණාත්මක සංධිස්ථානයක් හැටියට කලු ජූලිය හඳුන්වන්න පුළුවන්. 1948 දී අපි නිදහස ලබා ගන්නා විට ආසියාවේ දියුණුම රටක් හැටියට සැළකුවා. නවීන සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යු මහතා පොදු රාජ්‍යය මණ්ඩලයේ ආදර්ශමත් රට හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා තිබුණා.

නමුත්, එදා අපිට වඩා දිළිඳු යැයි සැලකු රටවල් ඇතුළුව, අද ලොකයේ බොහෝ රටවල් Bitcoin - Block Chain- NFT- Artificial Intelligence යුගයක් කරා ගමන් කරමින් ඉන්න වෙලාවේ, අපි බංකොලොත්භාවයේ පතුලටම වැටී තිබෙනවා. ලෝකයෙන් හුදෙකලාවු අසාර්ථක රාජ්‍යයක් බවට පත්වෙමින් ඉන්නවා.

ඊළඟ සතියේ ජූලි 27 වෙනිදාට පෙර අපිට, 2011 ගත්ත ණයක් වෙනුවෙන් ඩොලර් බිලියනයක් ගෙවන්නට වෙනවා. එපමණක් නොව මේ වසරේ දෙසැම්බර් වලදී ඇමරිකන් ඩොලර් බිලියන 1.3 පමණ Sri Lanka Development Bond ගෙවන්නට තිබෙනවා. මම මුදල් ඇමති ලෙස 2019 දී බාර දෙන විට භාණ්ඩාගාරයේ තිබුණු ඩොලර් බිලියන 7.6ක් පමණ වූ විදේශ විනිමය සංචිතය, 27 වෙනිදට පස්සේ ඉතිහාසයේ අවම ශේෂය වාර්තා කරමින් ඩොලර් බිලියන 1.6ට පමණ අඩු වෙලා පතුලටම වැටෙනවා.

අපේ ජාතික ආදායම රුපියල් බිලියන 600කින් පමණ අඩුවෙමින්, පසුගිය දශක 7දී ලබාගත් අඩුම ආදායම වාර්තා වුණෙත් 2020 දීය. 1988 න් පස්සේ විශාලතම අයවැය පරතරය 2020දී වාර්තා වුණා. වර්ධනය වෙමින් තියෙන අයවැය පරතරය පියවීමට, ඉතිහාසයේ වසරකදී අච්චු ගැසු වැඩිම මුදල අච්චු ගහන්නට මහබැංකුවට සිදු වුණෙත් පසුගිය වසරේදීයි.

ඊට අමතරව 2020 වසරට පමණක් රජය අලුතෙන් ලබාගත් ණය ප්‍රමාණය තවත් රුපියල් ට්‍රිලියන 2කින් පමණ වැඩිවෙලා. මේ නිසාම මේ තත්වය තුළ, රටේ මහා පොහොර හිඟයක් ඇතිවෙලා තියෙනවා. ඒ වගේම පිටරටින් ගෙන්වන බෙහෙත් ද්‍රව්‍යවල බරපතළ හිඟයක් ඇති වෙමින් තියෙනවා. ඉන්ධන වලට ඩොලර් බිලියන 1.2ක් පමණ ගෙවන්නට ඇති නිසා , ඉතා ඉක්මනින් ඉන්ධන හිඟයක් ඇතිවෙන්නට වැඩි ඉඩක් තිබෙනවා.

මේ සියල්ල හරහා සාමාන්‍ය ජනතාවගේ බඩගින්නද දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. දශක ගණනාවක් තිස්සේ ඊනියා දේශප්‍රේමය විකුණගෙන කැපු දේශපාලනය නිසාත්, ඊනියා දේශප්‍රේමි ඉදිරියේ රැවටුන ඡන්ද දායකයා  නිසාත්, වරින්වර අපගේ රාජ්‍යය නායකයන් නිවැරදි දේ කිරීමට උත්සහා කරපු අවස්ථාවලදී පවා, ඊනියා දේශප්‍රේමි නාමයෙන් ඒවාට හරස් කැපු විපක්ෂ නිසාත්, අද අපේ රට මේ තැනට වැටී ඇති බව අපි හැමෝම පිළිගත යුතුය.

ඇත්තෙන්ම කියනවානම් රාජ්‍ය පාලනය සම්බන්ධ වූ මා ඇතුළු අනෙක් සියලු දෙනාත්, මේ අද තියෙන තත්වයට කිසියම් මට්ටමකින් හෝ වගකිව යුතුයි. 1965 දී පංච මහා බලවේගයේ නාමයෙන් ඇති කරන ලද බහුතරවාදී කුහක ලිංමැඩි මානසිකත්වයත්, පසුගිය මැතිවරණයේදි එහි කූට ප්‍රාප්තියට පත්වීමත්, මේ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිව යුතුයි.

අද ස' ෆේල්- ස' ෆේල් කියලා හැමතැනම කියනවා. නමුත් ඇත්තටම අද ෆේල් වෙලා තියෙන්නේ ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි. එතුමා නියෝජනය කරන ආගම් වාදී, බහුතරවාදී සහ යල්පැනගිය සමාජවාදී මතවාදයයි.

අද ෆේල්වලා තියෙන්නේ තනි සිංහල ආණ්ඩුවක් පොරොන්දු  වූ රජයයි. අද ෆේල් වෙලා තියෙන්නේ ස' ටත් එහා ගිහින් ජාතිවාදය, බහුතරවාදය අඩංගු මතවාදය විසඳුමක් ලෙස යෝජනා කරන වර්තමාන විපක්ෂයයි. අද ෆේල් වෙලා තියෙන්නේ 1965න් පසුව මේ රටේ ඡන්ද දායකයෝ මෝහනය වූ, ආගම්වාදය සහ පටු ජාතිවාදය මුල්කරගත් සමාජවාදී මානසිකත්වයි.

කෙටියෙන්ම කියනවා නම් සර්ත් ෆේල්, සාත් ෆේල්.

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ විකල්පයක් මිස, ආදේශකයක් නෙවෙයි. ප්‍රමාද වී හෝ අපේ රටට අනාගතයක් හදන්නටනම්,  මේ ඉන්න තරුණ තරුණියන්ට ජීවත්වෙන්නට පුලුවන් හෙට දවසක් සඳහා අත්තිවාරමක් දාන්නට නම්, දැන්වත් අපි සැබෑ දේශප්‍රේමය කියන්නේ මොකක්ද කියලා හරියටම හඳුනා ගමු.

ඒ ගැන සංවාදයක් ආරම්භ කරමු. රට ආර්ථික වශයෙනුත් දේශපාලන වශයෙනුත් ජයගන්නේ කොහොමද කියලා සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සාකච්ඡා කරමු. එපමණක් නොව ළිංගෙඹි මානසිකත්වයෙන් මිදිලා, අපි අපේ රටේ දරුවන් වෙනුවෙන් ලෝකය ජයගන්නේ කොහොමද කියලා සැලසුම් කරමු. අපේ රටේ දියුණුව, ආරක්ෂාව, ස්වෛරීභාවය ගැන විතරක් නෙවෙයි, අපේ දරුවන්ට අනාගතයේදී උරුම වෙන රටේ හැඩරුව ගැනත් අපි කතා කරමු.

ශ්‍රී ලංකාව ලෝකයෙන් කොන් නොවී ලෝකය එක්ක අත්වැල් බැඳගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා සාකච්ඡා කළ යුතුම මොහොත මේ මොහොතයි. හෙට නෙවෙයි, ලබන අවුරුද්දේ නෙවෙයි, ඊළඟ ඡන්දෙදි නෙවෙයි, අද - අදම, දැන් - දැන්ම, මග හරින්නේ නැතුව අපි ඒ කතිකාව ඇරඹිය යුතුයි.

අද, පරස්පර මතධාරීන් රාජපක්ෂ විරෝධය මත පමණක් සන්ධාන හදන්නට උත්සාහ කරමින් ඉන්නවා. හැබැයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ සැලසුම් මත ගොඩනැගෙන විකල්පයක් මිස විරෝධය මත පදනම් වූ ආදේශකයක් නෙවෙයි.

ඒ විකල්පය, ජාතියකට, ආගමකට, කුළයකට, පක්ෂයකට, කණ්ඩායමකට හෝ පවුලකට සීමා නොවන, සැමෑ දේශප්‍රේමය මුල්කරගත් විකල්පයක් විය යුතුමයි. මේ අසීරු මොහොතේ අපේ රටට, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සහෝදරත්වය සහ විවිධත්වය මත පදනම් වූ එකමුතුකම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය මත පදනම් වූ විකල්ප මතවාදයක් අවශ්‍යයි.

පරිසරය, ගස්කොළං, සතා සීපාවා ආරක්ෂා කරන මතවාදයක් අවශ්‍යයි. ''සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා'' කියන පිළිවෙත කටපාඩමෙන් කියන වචනවලට විතරක් සීමා නොවන ක්‍රියාවෙන්ම ඉටු කරන මතවාදයක් අවශ්‍යයි.

1948 දී අපිට නිදහස ලැබුණත්, නව නිදහස් රාජ්‍යයට අත්තිවාරමක් දමන්නට බැරිවීම මහා විනාශයට හේතුවයි. ශ්‍රී ලංකාව කියන මාලිගාව ඉදි කරන්නට සෑම රජයක්ම උත්සාහ කරේ අත්තිවාරමක් නැති බිමකය. අත්තිවාරමක් දාන්නේ නැතුවය.

ඒ නිසාම හදන හදන තට්ටුව කඩා වැටිලා වසර 73 ක් තිස්සේ අපි හදලා තියෙන්නේ අහසේ මාළිගා විතරයි. ඒ නිසා දැන්වත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මුල්කරගත් සැබෑ දේශප්‍රේමී මතවාදයක් කරා ගමන් කරමු.

මැද පිළිවෙත නොහොත්, මධ්‍යම ප්‍රතිපදාව නොහොත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රැඩිකල් විදිහට පෙනී සිටින්නට කැමති, සියලු දෙනාගේ මධ්‍යස්ථානයක් ලෙස Freedom Hub අවකාශය ක්‍රියාත්මකයි.

සමාජ මාධ්‍යජාලා තුළින් අපි සමග එක් වෙන ලෙස අපි සියලු සැබෑ දේශප්‍රේමීන්ට ආරාධානා කරනවා. මේ අසීරුම තැන සැබෑ දේශප්‍රේමීන් ලෙස අපි සීරුවෙන් සිටිය යුතුම මොහොතයි."