Language Switcher

V2025

ඉන්ධන මිල වැඩි කළේ රට ගැන හිතලා - ප්‍රසන්න

ඉන්ධන මිල වැඩිකර ඇත්තේ රට ගැන හිතා බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ඉදිකිරීම් වලදී ජනතා හඬට කන් නොදුනහොත් බරපතළ ප්‍රතිඵල අත්විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
 
අමාත්‍යවරයා  ඊයේ  (15) වැරැල්ල වත්ත ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවේ මේ අදහස් දැක්වූ අතර  ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ පසුගිය ආණ්ඩු වලින් ගනු ලැබූ  වැරදි තීරණ  නිවැරදි කිරීමට බැවින් වර්තමාන රජය එම වගකීම නිසියාකාරව ඉටු කළ යුතු බවත් සඳහන් කළේය.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග,
 
පසුගිය දවස් වල පැවති අධික වර්ෂාවත් එක්ක ඇති වූ ගංවතුර තත්වයක් සමග අධිවේගී මාර්ගය නිසා පීඩාවට පත් වූ ස්ථාන කිහිපයක් තිබෙනවා. එම ස්ථාන නැවත අධ්‍යයනයකට ලක් කරලා වැඩ ආරම්භ කරන්න යෝජනා කරලා කටයුතු කළා.  එම ස්ථානවල පමණක් වැඩ කටයුතු දැනට නැවතිලා තිබෙනවා.
 
යම් හෙයකින් මේ සම්බන්ධව කටයුතු කරන අය ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී කටයුතු කළොත් ඔය කොන්ත්‍රාත්කරුවන්ට ගම්වලට එන්න ජනතාව ඉඩ දෙන එකක් නැහැ.
 
ඒ නිසා මෙය සාකච්ඡා මාර්ගයෙන් කාටවත් අසාධාරණයක් නොවන ආකාරයෙන් ඒ වගේම ජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන් සිදු කිරීම වැදගත්.
 
මේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය  සම්පූර්ණයෙන්ම අවසන් වූ විට එමගින්  ජනතාවට  පීඩාවට පත්වීමේ  අවස්ථාව ඉතාම අවමයි.  ජනතාව කවදාවත්  කිසිම පීඩාවකට ලක් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තුලින් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට කටයුතු කිරීමට ඉදිරියේ දී සියලු ක්‍රියාමාර්ග ගන්නවා.
 
ඉදිකිරීම් කාල සීමාව තුළ  සේවා පහසුකම් සඳහා සකස් කර තිබෙන මාර්ග සහ පස් ගොඩ ගැසීම් ගොඩක් දුරට පසුගිය ගංවතුර තත්වයන් තත්වයන්ට බලපෑමක් එල්ල කළා. ජනතාවට බලපෑමක් එල්ල නොවන ආකාරයට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කරනවා. නමුත් යම් යම් ස්ථානවල ඇති වූ ගැටලු සම්බන්ධයෙන් නැවත අධ්‍යයනයක් කළ යුතුම වෙනවා.  එවැනි අධ්‍යයනයක් සිදු කරලා  ඊට අදාළ තීන්දු අරගෙන කටයුතු කළොත් මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කරගැනීමට අපට හැකියාව ලැබෙනවා. 
 
2015 වසරට පෙර මෙම මාර්ගය කණු උඩ ඉදිකිරීමට සැලසුම් සකස් කොට තිබුණා . නමුත් පසුගිය රජය එය වෙනස් කරලා පස්වලින් ගොඩ කරපු මාර්ගයක් ඉදිකිරීමට තීරණය කරලා තිබුණා. එහි ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විදින්න සිද්ද වෙලා තියෙන්නේ. නමුත් ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ වැරදි දේවල් වැරදි තීරණ වෙනස් කරන්න. වර්තමාන රජයේ වගකීම වන්නේ එම වැරදි නිවැරදි කරලා කටයුතු කරගෙන යාමයි.
 
සාමාජිකයන්ගේ කරුණු තමයි ලේකම් ඉදිරිපත් කරන්නේ !
 
මෙහිදී ඉන්ධන මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා ,
 
රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශයෙන්  ප්‍රකාශයක් නිකුත් කළා. මෙම තීන්දුව රටේ ආර්ථිකය රටේ අනාගතය සහ සියලුම සාධක සලකලා බලලා ගනු ලැබූ තීන්දුවක් බව එහි පැහැදිලිව සඳහන් වෙනවා. දේශපාලන පක්ෂයක් කියන්නේ  යම්යම් සාමාජිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානයක්. සාමාජිකයින් ඉදිරිපත් කරන කරුණු තමයි පක්ෂයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන්නේ. කවුරු හරි මගෙන් ඇහුවොත් මේ ඉන්ධන මිල වැඩි කරපු එක හොදයිද නරකයිද කියලා මම කියන්නේ නරකයි කියලා .මොකද මම ජනතා ඡන්දයෙන් පත් වූ කෙනෙක්. නමුත් රට ගැන හිතන කොට ඊට වඩා වෙනස් විදිහකට අපට කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ කාරණාව අප අවබෝධ කොට ගත යුතුයි. 
 
ඔය කාරණය පොහොට්ටුවේ ලේකම්තුමා කියපු හින්දා අද මාධ්‍ය වල ලොකුවට සාකච්ඡා කෙරෙනවා. නමුත් ඕක අනිත් පක්ෂවල නායකයොත් කියන කතාවක්. ඉන්ධන මිල ඉහළ යාම වැරදියි ජනතාව පීඩාවට පත් වෙනවා කියන එක ගොඩක් නායකයෝ මේ දවස් වල කියනවා. ඉතින් පොහොට්ටුව කියන්නෙත් මේ රටේ ජනතාව එකතු වෙලා හදපු පක්ෂයක් එහි ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ ජනතාවගේ අදහස්. 
 
මේ ආණ්ඩුව ජනතාවට හංගලා කිසි දෙයක් කරල නැහැ . හැම දෙයක්ම විවෘතව කරලා තියෙනවා. යහපාලන රජය වගේ කිසිම දෙයක් හන්ගලා කරල නැහැ .ඉන්ධන මිල වැඩි කරේ අවුරුදු ගානකට පස්සේ. යහපාලන රජය කාලේ මාසෙන් මාසෙට ඉන්ධන මිල වැඩි කළා. එහෙම දෙයක් මේ රජය යටතේ වෙන්නේ නැහැ. අද පීඩාවට පත්වූ ජනතාවට ආණ්ඩුවෙන් රුපියල් පන්දහසේ දීමනාව ලබා දෙනවා. 
 
සමෘද්ධි  ප්‍රතිලාභීන් ට ඒ දීමනා ලබා දෙනවා. ඒ වගේම රජයේ වැටුප් කිසිසේත්ම අඩු නොකොට ගෙවාගෙන යනවා.  අද වෙනකොට සංචාරකයින්ගෙන් අපිට එන  ආදායම නැති වෙලා තිබෙනවා. ඒ වගේම විදේශ විනිමය එන මාර්ග සියල්ලම ඇණහිටලා තිබෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ එන්නත් සඳහා රජය විශාල මුදලක් වැය කරමින් සිටිනවා. රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදි කරනවා. මේ කාරණා සියල්ලටම රජය වියදම් කරනවා. මේ වියදම්  පාලනයක් යටතේ ගෙන යන්න තමයි  ඉන්ධන මිල මෙලෙස වැඩි කරල තියෙන්නෙ. 
 
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ සමගි ජන බලවේගය දැනටමත්  රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු ආගමනයට සම්බන්ධයෙන් කලබලයට පත්ව ඇති බවයි.
 
වර්තමාන විපක්ෂය අභ්‍යන්තරයේම ඇතැම් කණ්ඩායම් රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායක කම බාර ගැනීමට ආරාධනා  කිරීමට සැදී පැහැදී සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.