පොහොට්ටු ලේකම්ගේ නිවේදනය නිසා ජනාධිපති අගමැති ඇතුළු ඇමති රොත්තක් අමාරුවේ !

 පොහොට්ටු ලේකම්ගේ නිවේදනය නිසා ජනාධිපති අගමැති ඇතුළු ඇමති රොත්තක් අමාරුවේ !
තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස උදය ප්‍රභාත් ගම්මන්පිල  ඝෘජුව වගකිවයුතු බව සඳහන් කර ඔහු අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිකුත්කළ නිවේදනය හේතුවෙන් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයක් මතුව තිබේ.
 
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අදාළ තීන්දුව ඛණිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස ගම්මන්පිල තනිව ගනුලැබූ තීන්දුවක් නොව 
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව ගනුලැබූ තීන්දුවකි.
 
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද  මාධ්‍ය හමුවේ  පවසන්නේ, ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තෙල් මිල වැඩිකිරීමට අනුමැතිය දුන් බවයි. 
 
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ,  වෙළද ඇමති, කෘෂිකර්ම ඇමති, ව්‍යාපාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති (නිවාඩ් කබ්රාල්) හා පාරිභෝගික සේවා රාජ්‍ය ඇමති (ලසන්ත අලගියවන්න) ජීවන වියදම් කමිටුවේ නිල සාමාජිකයින් වේ.
 
මුදල් අමාත්‍යංශයේ ආරංචිමාර්ග පවසන්නේ, ඉන්දන මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජූනි 9 දා කැඳවා තිබු ජීවන වියදම් රැස්වීමට විශේෂ ආරාධිතයින් ලෙස ඩලස් අලහප්පෙරුම, උදය ගම්මන්පිල හා නාමල් රාජපක්ෂ ද සහභාගී වූ බවයි.
 
එහිදී ඉන්දන මිල ඉහල දැමීමට ගත් තීරණයට ජීවන වියදම් කමිටුවේ සියලු දෙනාගේ එකඟත්වය හිමිව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවසන් ලේඛනයට මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අත්සන් කළ  බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 
 
නමුත් මේ සම්බන්ධව නොදැන හෝ වෙනත් හේතුවක් මත පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් අද (12) ගම්මන්පිල අමාත්‍යවරයා චූදිත කර නිවේදනය නිකුත්කර ඇත.
 
පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සාමාන්‍යයෙන් පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ ගේ අණට පිටින් කටයුතු නොකරන බවය.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න