ගම්මන්පිල අගුපිලට දැමූ පොහොට්ටු නිවේදනයක් : ජනපතිට පුළුවන් අයින් කරන්න !

ගම්මන්පිල අගුපිලට දැමූ පොහොට්ටු නිවේදනයක් : ජනපතිට පුළුවන් අයින් කරන්න !

කොරෝනා වසංගතය හමුවේ ජනතාව තවත් අසීරුවට පත් කරමින් තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල  වගකිව යුතු බවත්, ඒ වගකීම භාරගෙන වහාම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පෙන්වා දී ඇත.

මේ බව සඳහන් කරන නිවේදනයක් පොදුජන පෙරමුණේ  මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී  සාගර කාරියවසම් ගේ අත්සනින් නිකුත්කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැනි වාතාවරණයකදී තෙල් මිල වැඩි කිරීම හමුවේ ආණ්ඩුව සහ ආණ්ඩුවේ ප්‍රධානීන් අප්‍රසාදයට පත් කිරීමේ වුවමනාවක් ගම්මන්පිල අමාත්‍යවරයා ට  තිබුණේදැයි සැක මතුවන බවයි.

විමල් පාර්ශ්වය එළවන තත්ත්වයක් !

සාමාන්‍යයෙන් මෙවැනි නිවේදනයක් විපක්ෂය වෙතින් නිකුත්කළ හැකි නමුත් සන්ධාන ආණ්ඩුවක පක්ෂයක් එහි තවත් පක්ෂයක නායකයෙක් ඉලක්ක කර නිකුත්කරන්නේ නැති බව දේශපාලන විචාරකයන් පවසයි.

ඔවුන් සඳහන් කරන ආකාරයට විශේෂ  කාරණය වන්නේ සන්ධාන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය විසින් එහි සාමාජික පක්ෂයේ නායකයකු ඉලක්ක කර මේ නිවේදනය නිකුත්කර තිබීමය.

ඒ අනුව ගම්මන්පිල අමාත්‍යවරයකු ලෙස අසමත් පමණක් නොව ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයට අනුව ඔහු තවදුරටත් ඛණිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරයා ලෙස සිටීම ඔවුන්ගේ අපේක්ෂාව නොවේ.

ඒ අනුව අමාත්‍ය ගම්මන්පිල ෆේල් අතර ඉල්ලා අස්විය යුතුව ඇත. ආණ්ඩුවේ හිටියත් වස්ත්‍රයක් ඇඳගෙන සිටිය නොහැකිය.

එසේම කාලයක් තිස්සේ රාජපක්ෂ කඳවුරේ ඇති විමල් - බැසිල් ගැටුමේ ප්‍රථිපලයක් ලෙස මේ නිවේදනය සැලකිය හැකි බවත් ඔවුන් පවසයි.

ගම්මන්පිල - විමල් නොමැති ආණ්ඩුවක් බැසිල් රාජපක්ෂ ඉදිරියේ සැලසුම් කරන බවත් දැන් ගම්මන්පිල - විමල් දේශපාලන අනාථයන් වෙනවාද නැද්ද යන්න ගැන තීන්දුවක් ගතයුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

ජනතා විරෝධය යට යැවීමක් !

කෙසේ වුවත් තවත් පිරිසක් පවසන්නේ මෙය ආණ්ඩුව මේ දිනවල අත්හදාබලමින් සිටින දේශපාලන උපක්‍රමයක් බවය. එනම් ආණ්ඩුව සම්බන්ධව ජනතා විරෝධයක් පැමිණි විට ඒ විරෝධය වෙනතක යොමුකරන, විරෝධය සමනය කරන නිවේදනයක් නිකුත්කර සිටීමය.

ඊට ආසන්න උදාහරණයක් වන්නේ රටේ ජනතාව කොරෝනා වසංගතය හමුවේ පීඩිතව සිටියදී ආණ්ඩුව මැති ඇමතිවරුන් සඳහා සැප වාහන ආනයනය කිරීමට කටයුතු කිරීම සහ ඒ හමුවේ නැගුනු ජනතා විරෝධය අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ කාර්‍යාලය කටයුතු කළ ආකාරයයි.

එහිදී අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ අදාළ වාහන ආනයනය අත්හිටුවීමට තීරණය කළ බවය. නමුත් නිවේදනය හරහා ජනතා විරෝධය සමනය කරගැනීමෙන් පසුව ආණ්ඩුව කියන්නේ අදාළ වාහන ආනයනය අත්හිටුවීමට නොහැකි බවය.

විචාරක අදහස මේ මොහොතේ  ගම්මන්පිල ට ඉල්ලා අස්වීමට කියන පොදුජන පෙරමුණ ටික දිනක් මේ කරුණේ එල්ලී සිට එය ජනතාවට අමතකවූ පසු සාමාන්‍ය ලෙස කටයුතු කරනු ඇති බවය.

එසේම ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම අමාත්‍යවරයා ගතයුතු නම්, මිල ඉහළ දැමීම ආණ්ඩුවේ ස්ථාවරය නොවේ නම් අමාත්‍යවරයාව තනතුරින් ඉවත් කිරීමට බලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සතු බවත් විචාරක අදහසය.

pohottuwa

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න