අලුත් පොහොර ටෙන්ඩරයේදීත් රතුපාටට විශේෂ සැළකිල්ලක්

අලුත් පොහොර ටෙන්ඩරයේදීත් රතුපාටට විශේෂ සැළකිල්ලක්

එළඹෙන කන්නය සඳහා පොහොර මිලදී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කැඳවා ඇති ටෙන්ඩරයේ එම්ඕපී පොහොර සඳහා මෙතෙක් නොතිබූ කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බවත් එය සැලසුම් කර ලද සැපයුම්කරුවකුට අවස්ථාව ලබාදීම සඳහා එක් කරන ලද කොන්දේසියක් බවටත් සැක මතුවී ඇත.

අදාළ ටෙන්ඩරයේ එම්ඕපී පොහොර සඳහා ඒ ආකාරයට ඉදිරිපත් කර ඇති කොන්දේසිය වන්නේ රතු වර්ණයෙන් යුතු එම වර්ගයේ පොහොර ලබා දිය යුතු බවට වූ කොන්දේසියයි.

මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය එම්ඕපී පොහොර මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද කිසිදු ටෙන්ඩරයක මෙම කොන්දේසිය ඉදිරිපත් කර නැති අතර එම්ඕපී පොහොර රතු වර්ණයට හුරු රෝස පාටින් හා සුදු වර්ණයෙන් පවතින බව වාර්තාවේ.

භුමියෙන් සෘජුවම ලබාගන්නා මෙම පොහොර ඒවා හමුවන ප්‍රදේශ අනුව වර්ණ වෙනසක් දක්වතත් ඒවායේ ඇති රසායනික සංයුතියේ කසිදු වෙනසක් නැති බව පොහොර පිළිබඳ විශේෂඥයන්ගේ මතයයි.

රුසියාව උස්බෙකිස්ථානය වැනි රටවල රතු වර්ණයෙන් යුතු එම්ඕපී පොහොර පවතින බවත් ඊශ්‍රායලයේ ඇතුලු අනෙකුත් රටවල ඇත්තේ සුදු වර්ණයෙන් යුතු එම්ඕපී පොහොර බවත් පැවසේ.

මෙම ටෙන්ඩරයට අනුව එම්ඕපී පොහොර මෙට්‍රික් ටොන් 18000 ක් මිලදී ගැනීමට නියමිත අතර මාර්තු 02 දින කැඳවා ඇති මෙම ටෙන්ඩරයේ මිල ගණන් ලබාගැනීම මාර්තු 09 වැනිදා දහවල් අවසන් කිරීමට නියමිතය.

මීට අමතරව එම ටෙන්ඩරයේදී ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 18000 ක් හා ග්‍රැනියුලා වර්ගයේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 24000 ක් මිලදී ගැනීමට නියමිතය.

කොන්දේසිය දැමූ හේතුව ?

 එම්ඕපී පොහොර සඳහා රතු වර්ණය යන කොන්දේසිය ඉදිරිපත් කළේ ඇයිද යන්න පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් කරන ලද විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ පෞද්ගලික අංශය විසින් රතු වර්ණයෙන් යුතු එම්ඕපී පොහොර වෙළෙඳපොළට නිකුත් කරන බවත් ගොවීන්ගේ කැමැත්ත ඇත්තේ එම වර්ණයේ පොහොරවලට හෙයින් රජයේ එම්ඕපී පොහොර විකුණාගැනීම සඳහා එම කොන්දේසිය දැමූ බවය.

එහෙත් මේ පිළිබඳ කළ විමසීමකදී ගොවි සංවිධාන නියෝජිතයකු වන කවුඩුල්ලේ ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ එම්ඕපී පොහොර සුදු ද රතු ද යන්න පිළිබඳව ගොවියන් තුළ විශේෂ කැමැත්තක් නැති බවත් මේ පාට දෙවර්ගයේම එම්ඕපී පොහොර වෙළඳපොළේ ඇති බවත්ය.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න