රිෂාඩ් රඳවාගෙන ඉන්නේ දේශපාලන හේතුන් මතයි - නීතීඥ රුෂ්ඩි හබීබ්

රිෂාඩ් රඳවාගෙන ඉන්නේ දේශපාලන හේතුන් මතයි - නීතීඥ රුෂ්ඩි හබීබ්

අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින බවට නීතීඥ රුෂ්ඩි හබීබ් ආණ්ඩුවට චෝදනා කර සිටියි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන්වත් අත්අඩංගුවට ගැනීමට නිර්දේශ කර නොමැති අවස්ථාවක අධිකරණයෙන් හෝ නීතිපතිවරයාගෙන්වත් උපදෙස් නොගෙන පරිපාලනමය හා දේශපාලන හේතුන් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටිනවා යැයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිල නීතීඥ රුෂ්ඩි හබීබ් පවසයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රස විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී නීතීඥ රුෂ්ඩි හබීබ් එම කාරණය ආධාරණය කළේය.

ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවෙන් කර ඇති අනාවරණ සහ නිර්දේශ ක්‍රියාත්මක නොකර, ඒවා යටපත් කරමින් විවිධ කෝණවලින් සිදු කරන පරීක්ෂණ ගැන බරපතල ගැටළුවක් ඇතැයි එහිදී පැවසු නීතීඥ රුෂ්ඩි හබීබ්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන පරිදි ව්‍යවහාරික හෝ විද්‍යාත්මක සාක්ෂි තියෙනවනම් ඒවා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත්, එසේ නොකර රඳවා තබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් බවත් කියා සිටියේය.

නීතිපතිවරයාගේ උපදෙස් මත, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවට කිසිඳු අකාරයේ සාක්ෂියක් හෝ සටහනක් නැතැයි ද ඔහු පැවසිය.

''පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා, යුධ හමුදාපතිතුමා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි දුන්නා. පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවක් හෝ, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සම්බන්දයෙන් විමර්ශන කළ යුතු බවට ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාවේ කිසිදු තැනක සඳහන් නැහැ. එකී වාර්තාව අනුව යුධ හමුදාපතිතුමාට ලබා දුන් දුරකථන ඇමතුමක් සහ ක්ලෝසස් සමාගමට තඹ ලබාදීම පිළිබඳ කරුණුවලට අදාළ ව අල්ලස් දූෂණ කොමිසම යටතේ විමර්ශනය කළ යුතු බවට විමර්ශන වාර්තාවේ සඳහන් වුණා.'' යයි ද නීතිඥවරයා කියා සිටියේය.

එහෙත්, මේ වන විට හදිසියේම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙන නමුත්, මේ දක්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමක් සිදුවී නැතැයි ද නීතීඥ රුෂ්ඩි හබීබ් සඳහන් කළේය.

තවදුරටත් කරුණු දැක්වූ නීතීඥ රුෂ්ඩි හබීබ් මෙසේ පැවසිය.

'රිෂාඩ් ප්‍රජාත්නත්‍රවාදී දේශපාලන නායකයෙක්'

''රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන්නේ ආරක්ෂක ඇමතිවරයාගේ මැදිහත්වීමකින් කියන කාරණය අපි මතු කරනවා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා අධිකරණයකින් සැකකරුවෙක් හෝ චූදිතයෙක් ලෙස නම් කර නැහැ.

ඒ නිසා එතුමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමේ අවස්ථාව ලබා දිය යුතුයි.

පාර්ලිමේන්තු රැස්වීමට සහභාගීවීමට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට කිසිදු බාධාවක් නොමැති බව නීතිපතිවරයා නිවේදනය කර තිබෙනවා.

එවැනි අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තු රැගෙන ඒම සාධාරණ හේතුවක් නොමැතිව ප්‍රතික්ක්‍ෂේප කර තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට රැගෙන ඒම විමර්ශනවලට බාධාවක් බව මහජන සාමය පිළිබඳ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා ත්‍රස්තවාදී සංවිධානයක කෙනෙක් නෙවෙයි. ප්‍රජාත්නත්‍රවාදී දේශපාලන නායකයෙක්.

මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් !

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරයක් පෙනී යනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සිද්ධියේදී ක්‍රියාකරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බැහැ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණීම, දේශපාලන මැදිහත්වීමකින් නතර කරන්න ක්‍රියාකරන බව අපට පෙනෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් අත්අඩංගුවට ගැනීම තුළ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා.

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අනාවරණ සහ නිර්දේශ ක්‍රියාත්මක නොකර, ඒවා යටපත් කරමින් විවිධ කෝණවලින් සිදු කරන පරීක්ෂණ ගැන අපට ගැටළු තියෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන පරිදි ව්‍යවහාරික හෝ විද්‍යාත්මක සාක්ෂි තියෙනවනම් ඒවා අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.

එසේ නොකර රඳවා තබා ගැනීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක්'' යැයි ද ඔහු පැවසිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න