Image

ඩිජිටල් යුගයේදීත් රෝගී සත්කාරයේ මානුෂීය අගයන් ආරක්ෂා කළ යුතුයි - අමාත්‍ය නලින්ද ජයතිස්ස

ඩිජිටල් යුගයේදීත් රෝගී සත්කාරයේ මානුෂීය අගයන් ආරක්ෂා කළ යුතුයි - අමාත්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (College of General Practitioners of Sri Lanka - CGPS) විසින් සංවිධානය කරනු ලබූ GP Sri Lanka ’26 – 51 වන වාර්ෂික අධ්‍යයන සැසිය (51st Annual Academic Sessions) ඊයේ (19) කොළඹ Grand Maitland හෝටලයේ දී පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ඩිජිටල් තාක්ෂණය සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව, ප්‍රවේශය සහ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට උපකාරී වුව ද, එම තාක්ෂණය වෛද්‍ය-රෝගී සබඳතාව ශක්තිමත් කරන අයුරින් භාවිතා කළ යුතු බවයි. “අපගේ අභියෝගය සෞඛ්‍ය සේවාව ඩිජිටල්කරණය කිරීම පමණක් නොව, එම ඩිජිටල් තාක්ෂණය තුළත් මානුෂීය ගුණාංග ආරක්ෂා කිරීමයි” යනුවෙන් ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.

මෙවර සැසිවාරයේ තේමාව වුයේ “ඩිජිටල් යුගයේ කරුණාව, අඛණ්ඩතාව සහ පෙනී සිටීම: පවුලේ වෛද්‍යවරුන් මූලික කරගත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව” (Transforming Primary Care: General Practitioners at the Heart of the Community) යන්නයි.

ඉතා කාලෝචිත තේමාවක් යටතේ මෙවර සැසිවාරය ද පැවැත්වෙන බව මෙහි දී ‌පෙන්වා දුන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෝකය පුරා ජනගහන වයස්ගත වීම, බෝ නොවන රෝග වැඩිවීම, මානසික සෞඛ්‍ය ගැටලු, සෞඛ්‍ය වියදම් ඉහළ යෑම සහ තාක්ෂණික පරිවර්තනය යනාදි අභියෝග හමුවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධති ගොඩනැගෙන්නේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව මත බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන් රෝග විනිශ්චය සහ ප්‍රතිකාරයට පමණක් නොව, රෝගීන්ට උපදෙස්, විශ්වාසය සහ අඛණ්ඩ සත්කාර ලබාදීමේ අද්විතීය කාර්යභාරයක් ඉටු කරන බවත්, පරම්පරා ගණනාවක් පුරා පවත්නා වෛද්‍ය-රෝගී සබඳතා සම්පුුර්ණයෙන්ම තාක්ෂණයෙන් හෝ කෘත්‍රිම බුද්ධියෙන් ප්‍රතිස්ථාපනය කළ නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම, රෝහල් පද්ධතිය මත පමණක් සෞඛ්‍ය සේවාවේ බර පැටවිය නොහැකි බවත්,රෝග වළක්වා ගැනීම සදහා වූ කාර්යභාරය, කල්තියා මැදිහත්වීම, නිදන්ගත රෝග කළමනාකරණය, මානසික සෞඛ්‍ය සහ ප්‍රජා මූලික සත්කාර ශක්තිමත් කිරීම ආදී කාර්යයන් සඳහා පවුලේ වෛද්‍යවරුන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන බව ද අමාත්‍යවරයා මෙහිදීි අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පසුගිය දශක පහකට වැඩි කාලයක් පුරා පවුල් වෛද්‍ය සේවාව, වෘත්තීය සංවර්ධනය, පර්යේෂණ සහ ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ලබාදුන් දායකත්වය අගය කළ අමාත්‍යවරයා, අනාගතයේදී ද සෞඛ්‍ය අමාත්‍යාංශය සහ විද්‍යාලය අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මෙම අධ්‍යයන සැසිවාරය තුළින් පවුලේ වෛද්‍ය සේවාව හා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා නව අදහස් සහ වටිනා දැනුම බිහිවනු ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ 51 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය රට පුරා සහ ඉන් ඔබ්බට සිටින පවුලේ වෛද්‍යවරුන්, විශේෂඥයින් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් අතර දැනුම හුවමාරුව, පවුලේ වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළනැංවීම, වෘත්තීය සංවර්ධනය සහ සහයෝගීතාවය, ජාත්‍යන්තර වෘත්තීය සබඳතා ශක්තිමත් කිරිම ආදී ක්ෂේත්‍ර සදහා සුවිශේෂී වේදිකාවක් සපයනු ඇත.

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ පවුලේ වෛද්‍යවරයෙක් (GP) සහ Royal Australian College of General Practitioners (RACGP) ආයතනයේ ජාතික සභාපති Dr. Michael Wright මහතා සහ නේපාලයේ ප්‍රමුඛ පෙළේ පවුලේ වෛද්‍යවරයෙක්, වෛද්‍ය මහාචාර්යවරයෙක් සහ ඩිජිටල් සෞඛ්‍ය විශේෂඥයෙක් වන WONCA South Asia Region (ලෝක පවුලේ වෛද්‍යවරුන්ගේ සංවිධානයේ දකුණු ආසියානු කලාපය) හි සභාපති Dr. Pramendra Prasad Gupta මහතා ද සම්භාවනීය ආරාධිතයින් ලෙස මෙම උත්සව අවස්ථාවට සහභාගි වෙමින් විශේෂ ආරාධිත දේශණ පැවැත්වූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ප්‍රජා දන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ, ප්‍රජා දන්ත වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය දිලීප් ද සිල්වා විද්‍යාලීය දේශනය පැවැත්වූ අතර, වෛද්‍ය එම්.පී.එම් කුරේ අනුස්මරණ පදක්කම සහ ගෞරව සාමාජිකත්ව (Honorary Fellowships) Dr. Michael Wright, Dr. Pramendra Prasad Gupta, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, වෛද්‍ය රුවන් චන්දන සිල්වා යන අයවෙත පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලය (CGPSL) යනු පවුල් වෛද්‍යවරුන් ගේ ඉහළම, වෘත්තීය, අධ්‍යයන ආයතනය වන අතර එය 1969 දී ආරම්භ කර ඇත.

පවුලේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නායකත්වය, ශ්‍රාස්ත්‍රීය අධ්‍යයන සහ නවතම වෛද්‍ය ප්‍රවණතා ප්‍රවර්ධනය කිරිම අරමුණු කර ගත් විද්‍යාලයේ මූලික දැක්ම වනුයේ පවුල් වෛද්‍ය විද්‍යාවට අධ්‍යයන විෂයයක් ලෙස පිළිගැනීමක් ලබා ගැනීම ය. එහි දී විද්‍යාලයේ අධ්‍යයන කටයුතු ශ්‍රී ලංකාවේ පවුල් වෛද්‍ය විද්‍යාවේ වඩා හොඳ ප්‍රමිතීන් සඳහා සාමූහිකව දායක වී ඇත. විද්‍යාලය ශ්‍රී ලංකා පවුල් වෛද්‍යවරයා නමින් තමන්ගේම සඟරාවක් ප්‍රකාශයට පත් කරන අතර එයට තමන්ගේම පුවත් පත්‍රිකාවක් සහ වෙබ් අඩවියක් ද ඇත.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සභාපති වෛද්‍ය පුෂ්පා වීරසිංහ, උප සභාපති වෛද්‍ය චන්දන අතපත්තු, හිටපු සභාපති වෛද්‍ය ඩි.කේ.ඩි මැතිවි, ලේකම් වෛද්‍ය සංක රන්දෙණිකුමාර ඇතුළු ලංකා පවුලේ වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ සාමාජිකයින් (Council member) ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

දීප්ති විජේතුංග - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම්

sl26 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න