අකිලට අධ්‍යාපන ඇමතිකම එපා වෙලා : පෙළපොත් ගැහිල්ලෙන් රු: කෝටි 12ක අලාභයක් කරලා

අකිලට අධ්‍යාපන ඇමතිකම එපා වෙලා : පෙළපොත් ගැහිල්ලෙන් රු: කෝටි 12ක අලාභයක් කරලා

දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර සින්තටික් පෙළ පොත මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයට රු.128,939,700/- ක අලාභයක් කර ඇති බව විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙම චෝදනාව එල්ලකර සිටියි.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට අධ්‍යාපන අමාත්‍යාංශය 2017 වසරට අදාළ 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් (කෘති‍්‍රම) කඩදාසියේ මුද්‍රණය කිරීමේදී සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කිරීමට වියදම් වන මුදලට වඩා රු.128,939,700/- මුදලක් වියදම් කර ඇති බව නිරීක්ෂණය වන බව ‘‘අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ විගණකාධිපති වාර්තාව 2016 වර්ෂය’’ හි සඳහන් කර ඇත.

අදාළ විගණකාධිපති වාර්තාවට අනුව 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කළේ නම් වැය වන මුදල රු.25,804,050/- ක් බවත්, කෘති‍්‍රම කඩදාසියේ මෙම පොත මුද්‍රණයේදී රු.154,743,750/- ක් වැය කර ඇති බවත් නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව කෘති‍්‍රම කඩදාසියේ පොත් මුද්‍රණයට වැඩිපුර වියදම් කර ඇති මුදල රු.128,939,700/- ක් බව විගණකාධිපති වාර්තාව නිරීක්ෂණ කර ඇති බවත් මෙම මුදල කෘති‍්‍රම කඩදාසියේ පොත් මුද්‍රණය කිරීම වෙනුවෙන් රජයට දැරීමට සිදුවන අතිරේක පිරිවැයක් හෝ අලාභයක් ලෙස නිරීක්ෂණය වන බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් බවද එම නිවේදනයේ දැක්වේ.

අලුත් එක මාරයි : සල්ලි හමාරයි

එසේම කෘති‍්‍රම කඩදාසියේ එක් පොතක් මුද්‍රණය කිරීම වෙනුවෙන් දරන ලද පිරිවැය සාමාන්‍ය කඩදාසියේ එක් පොතක් මුද්‍රණය කිරීමේදී දරන පිරිවැයට සාපේක්ෂව සියයට 356 සිට සියයට 569 ක් දක්වා පරාසයක වූ ඉතා අධික පිරිවැයක් බව එම වාර්තාවේ පෙන්වා ඇති බවද ලංකා ගුරු සංගමය නිකුත් කල නිවේදනයේ සඳහන්ව තිබේ.

සාමාන්‍ය පොතක් රුපියල් 49 යි : අලුත් එක රුපියල් 305 යි

තවද විගණකාධිපති වාර්තාවට අනුව රුපියල් 45.69 කින් සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කළ හැකිව තිබූ පෙළ පොතක් වෙනුවෙන් රුපියල් 305.55 ක අධික මුදලක් වියදම් කර ඇති බව පෙනීයන බවත් එහි සඳහන්ව තිබේ.

ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවේ නිර්දේශ කුණු කූඩයට

මෙම 7 වසරට අදාළ භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමේදී රුපියල් මිලියන 130 කට ආසන්න මුදලක් අවභාවිතා වී ඇති බව ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාව මගින් ද හෙලි වී තිබුණු බවත් එසේම කිසිදු විධිමත් ඇගයීමකින් තොරව සහ අදාළ ටෙන්ඩර් පටිපාටි පවා විධිමත් නොවන බවද ජනාධිපති විමර්ශන වාර්තාවේ නිර්දේශවල සඳහන් වූ බවද ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

අදාළ මුද්‍රිත කඩදාසිය දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර නොවන බැවින් භාවිතයෙන් ඉවත් කළ යුතු බවට පවා ජනාධිපති විමර්ශන වාර්තාවේ නිර්දේශවල සඳහන් කර ඇති නමුත් එම නිර්දේශද මේ දක්වා කි‍්‍රයාත්මක කර නැති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව ලංකා ගුරු සංගමය සිය නිවේදනය හරහා අවධාරණය කර සිටින්නේරටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට තිබූ මුදලින් මෙතරම් විශාල මුදලක් අවභාවිත වී තිබෙන බව විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් ද, ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවෙන්ද තහවුරු වී තිබියදී රජයට කර ඇති විශාල අලාභය සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙසත්, මේ සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවේ නිර්දේශ වහා කි‍්‍රයාත්ම කරන ලෙසත් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න