Image

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණයි - කමල් තිස්ස බණ්ඩාර

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හුදු මාධ්‍ය සංදර්ශනයක් පමණයි - කමල් තිස්ස බණ්ඩාර

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හුදු මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා වී ඇති බවත්, ගොවියා ගේ ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට රජය සම්පූර්ණයෙන්ම අපොහොසත් වී ඇති බවත් සර්වජන ගොවි සංවිධානයේ ජාතික කැඳවුම්කරු කමල් තිස්ස බණ්ඩාර පවසයි.

දේශීය ගොවියා බිමටම සමතලා කර විනාශ කිරීමේ වැඩපිළිවෙළක්

අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ, වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම නිසියාකාරව සිදු නොවන බවයි. ඇතැම් නිලධාරීන් සහ දේශපාලනඥයින් තමන්ට හිතවත් ගොවීන්ගේ ට්‍රැක්ටර් කිහිපයක් ගෙන්වා මාධ්‍ය ඉදිරියේ රඟදැක්වීමක් පමණක් සිදු කරන බවත්, සැබෑ ලෙසම ගබඩාවල වී මිලදී ගැනීමක් සිදු නොවන බවත් ඔහු චෝදනා කළේ ය.

මෙවර යල කන්නයේදී ගොවීන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් බව පෙන්වා දුන් බණ්ඩාර, පොහොර මිටියක් රුපියල් 18,500ක්, සී සෑම සඳහා රුපියල් 28,000ක් සහ ගොයම් කැපීම සඳහා රුපියල් 25,000ක් ලෙස අතිවිශාල පිරිවැයක් දැරීමට ගොවීන්ට සිදුව ඇති බව අවධාරණය කළේ ය. මෙවැනි පසුබිමක පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ මුවාවෙන් 'පොන්නි සම්බා' ඇතුළු ආනයනික සහල් මෙරටට ගෙන්වමින් දේශීය ගොවියා බිමටම සමතලා කර විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට ද ඔහු වෙළඳ අමාත්‍යවරයාට දැඩි චෝදනාවක් එල්ල කළේ ය.

 

ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ගොවි අරගලයක්

එමෙන්ම, මහා පරිමාණ මෝල් හිමියන්ට සහ සහල් මාෆියාවට රජය යටවී ඇති බවත්, වෙළඳ අමාත්‍යවරයා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා පවා දැඩි ලෙස අසරණ වී ඇති බවත් ඔහු මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ගොවීන් රජයෙන් නිකම් දෙන දේවල් හෝ සහනාධාර බලාපොරොත්තු නොවන බව කී ඒ මහතා, පොහොර සහ ඉන්ධන මිල අඩු කර නිෂ්පාදන වියදම අවම කිරීමට රජය පියවර නොගන්නේ නම්, අඩුම තරමේ නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 140ක සාධාරණ මිලක් හෝ ලබා දිය යුතු බව ප්‍රකාශ කළේ ය.

මෙම තත්ත්වයට වහාම පිළියම් නොයෙදුවහොත් සහ තවදුරටත් රජය ගොවීන් රවටමින් මාධ්‍ය සංදර්ශන පමණක් පවත්වන්නේ නම්, ඉදිරියේදී සමස්ත ගොවි ජනතාවම එක්රැස් කරමින් වත්මන් ආණ්ඩුවට එරෙහිව දැවැන්ත ගොවි අරගලයක් දියත් කිරීමට කිසිසේත් පසුබට නොවන බව කමල් තිස්ස බණ්ඩාර මහතා රජයට දැඩි අනතුරු ඇඟවීමක් කරමින් සඳහන් කර සිටියේ.

ගලෙන්බිඳුණුවැව ඉසුරු කාවින්ද

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න