මහදැනමුත්තාගේ ක්‍රමයට වැඩ කර එල්ල කළ තඹුත්තේගම ප්‍රහාරය ජවිපෙ හෙළාදකියි

මහදැනමුත්තාගේ ක්‍රමයට වැඩ කර එල්ල කළ තඹුත්තේගම ප්‍රහාරය ජවිපෙ හෙළාදකියි

රාජාංගන පානීය ජල ව්‍යාපෘතිය සඳහා විරෝධය දැක්වූ ගොවි ජනතාවට පොලීසිය ලවා ප‍්‍රහාර එල්ල කරවීමත් පසුව ගොවි-ගෙවිලියන් 50කට ආසන්න ප‍්‍රමාණයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකරවීමත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

28 වනදා තඹුත්තේගම සිදුවූ සිදුවීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ බව සඳහන් කර සිටියි.

පොදු ජනතාවගේ ගැටලූවට ඇහුම්කන් නොදීමත් තම ගැටලූ සඳහා උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ගවල නිරතවන ජනතාව අධිකරණ නියෝග මත මර්දනය කිරීමත්, ඔවුනට කඳුළු ගෑස් ජල ප‍්‍රහාර හා බැටන් ප‍්‍රහාර එල්ල කරවීමත් අපේ රටේ සියලූම ආණ්ඩුව ජානගත ලක්‍ෂණය වී තිබෙන බවද එම නිවේදනයේ සඳහන්ය.

එසේම විපක්‍ෂයේ සිටින විට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ධනපති නායකයන් බලය අතට ගත්විට හැසිරෙන්නේ බැටන් පොලූවලින් වෙඩි උණ්ඩවලින් ප‍්‍රශ්න විසඳිය හැකි යැයි සිතා බවත් මේ ආණ්ඩුවද එවැනි මුග්ධ ආණ්ඩුවක් බව ප්‍රහාරයෙන් පැහැදිලි වන බවද එහි සඳහන්ව ඇත.

ජවිපෙ විසින් නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්ව ඇත.

"අපේ රටේ ආණ්ඩු හැමවිටම ජනතාවගේ දෑස් වසා ජනතාවට හානිකර ව්‍යාපෘති අරඹා ඇති බව ජනතාව අත්දැකීමෙන් දනී. ජලය පිළිබඳ ප‍්‍රශ්නයේදී ගොවි ජනතාවට අයිති ජල සම්පත සමාගම්වලට විකිණීම ආණ්ඩුවල ප‍්‍රතිපත්තිය වී තිබේ. තමන් නොදන්නා රහසිගත ජල ව්‍යාපෘතියකදී ජනතාව ඊට එරෙහි වන්නේ ඒ නිසාය. එය සාධාරණය. වගකිව යුතු ආණ්ඩුවක් නම් කළ යුතුව තිබුණේ, එක්කෝ අදාළ බලධාරීන් මැදිහත් වී ගොවි ජනතාවට කරුණු අවබෝධ කරදී ඔවුන්ගේ සැකය දුරු කිරීමය. නැත්නම් මෙම ජල ව්‍යාපෘතිය හානිකර වූවක් නම් නවතා දැමීමය. එහෙත් ආණ්ඩුව කටයුතු කළේ එසේ නොවේ. අධිකරණ වාරණ නියෝග ගත් ආණ්ඩුව, පොලීසිය ලවා උද්ඝෝෂණය කළ ගොවි ජනතාවට එලව එලවා පහර දුන් අතර අවසානයේ 50කට ආසන්න ප‍්‍රමාණයක් රක්‍ෂිත බන්ධනාගාරගත කළේය. ඒ අතර ජල ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළ බවද කියයි. එය මුලින්ම සිදුකළේ නම් මේ කිසිදු ගැටලූවක් මතුවන්නේ නැත. ගොවි ජනතාව පහර කන්නේ හෝ සිරගත වන්නේ නැත. එහෙත් ආණ්ඩුව කටයුතු කළේ ‘මහදැනමුත්තාගේ’ ක‍්‍රමයටය.

කෙසේ වුවත් රාජාංගන ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔවුනට පොලීසිය ලවා පහරදී, සිරගත කරමින් ගොවි ජනයා මර්දනය කිරීමට ආණ්ඩුව ගත් නින්දිත කි‍්‍රයාමාර්ග යළිත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අපි, අත්අඩංගුවට ගත් ගොවි නායකයින් ඇතුළු ගොවි ජනතාව වහාම නිදහස් කරන ලෙසත් ගොවි ජනයා මර්දනය කිරීම වහාම නවතන ලෙසත් ගොවි ජනතාවගේ ජීවන වෘත්තියට හානිකර කි‍්‍රයාමාර්ග වහා නවතන ලෙසත් ජනතාවගේ අවබෝධයෙන් හා කැමැත්තෙන් තොරව මෙම සැක සහිත ජල ව්‍යාපෘතිය කි‍්‍රයාවට නොනගන ලෙසත් ආණ්ඩුවට බලකරමු.'

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න