"මීතොටමුල්ල කසළ කන්දේ වැරදිකරුවන්ට මෙතෙක් දඬුවම් ලබාදී නැහැ" - ඇමති පාඨලී

"මීතොටමුල්ල කසළ කන්දේ වැරදිකරුවන්ට මෙතෙක් දඬුවම් ලබාදී නැහැ" - ඇමති පාඨලී

මීතොටමුල්ල කුණු කන්ද නායයාමට අදාලව පත්කළ ජාන්ධිපති කොමිසමේ නිර්දේශ අතර රාජ්‍ය ආයතන පහක් සහ මේ අපරාධයට වගකිව යුත්තන් හැටියට පුද්ගලයින් ගණනාවක් නම් කර තිබෙන නමුත් ඒ කිසිම පුද්ගලයෙකුට හෝ රාජ්‍ය ආයතනයකට, මේ මිය ගිය ජීවිතවල වගකීම දරණ කිසි කෙනෙකුට මේ වන තෙක් දඬුවම් ලබාදී නොමැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළකර සිටියේ, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවකයින් ඇගයීම වෙනුවෙන් සංවිධානය කර තිබූ ‘සංස්ථා අභිමානී’ උත්සව අවස්ථාවට සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මීතොටමුල්ලේ කසල කන්ද නාය යෑමේ අවධානම පිළිබඳ කිහිප වතාවක් අනතුරු ඇඟවීම් කළ නමුත් කවුරුත් ඒවා ගණන් ගත්තෙ නැතිබවය.

ඒ නිසාම වගකිවයුතු පාර්ශව කාලයට ප‍්‍රශ්න විසඳන්න ඉඩදී කටයුතු කල බවත් ඒ හේතුවෙන් තිස් ගණනකගේ ජීවිත නැති වූ බවත් එය මේ රටේ අනාගතයට කිසිසේත් සුදුසු තත්වයක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

එසේම යහපාලනයක් තිබෙන්න කලින් රටක පාලනයක් තිබිය යුතු බවද, කසළ කන්දක් කඩා වැටී තිස් ගණනක් ඝාතනය වීමට වගකිව යුතු පිරිස්වලට දඬුවම් ලබාදීමට බැරි පාලනයකින් වැඩක් නැති බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. එය කසළ කන්දට, කසළ ගොඩගැසීමටත් වඩා ඉතාම භයානක වරදක් සේම මියගිය පිරිසට කරන ඉතාම බලගතු අවමානයක් බව ද අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේද අදහස් දැක්වීය.

මේ රටේ තිබෙන ප‍්‍රධාන අභියෝගය අධිවේගී පාරවල් තැනීමට වඩා වර්තමානයේ ප‍්‍රධානම අභියෝගය වන්නේ ජලකළමනාකරණයයි. රටේ එක් පැත්තක ගංවතුර ඇතිවන විට තවත් පැත්ත නියඟය ඇතිව තිබෙනවා. ඒ නිසා මේ ගංවතුර පාලනය කර ඒ වැඩිවන වතුර නියඟය පවතින ප‍්‍රදේශ කරා රැගෙන යාමේ යෝධ ජල ව්‍යාපෘතියක් රටට අවශ්‍යව තිබෙනවා. ඕලන්ද යුගයේ මෙන් ජලය භාවිත කර ප‍්‍රවාහන පද්ධතියක් ඇතිකර ගැනීම ගැන සලකා බලන්න ඕන. කැළණි ගඟෙ ජලය භාවිත කර ඵලදායී ප‍්‍රවාහන පද්ධතියක් ඒ ආශ‍්‍රයෙන් නිර්මාණය කර ගන්නට හැකියාව තිබෙනවා. කැලණි ගඟෙ වැඩිවන ගංවතුර පාලනය කිරීමෙන් ගංඟාව ආශි‍්‍රත නගර නිර්මාණය කර ගනිමින්, වැඩි වතුර වියළි කලාප වෙත රැගෙන යාමට කටයුතු කිරීම තුළින් එම ප‍්‍රදේශවල ගොවිජනතාව දුකින් මුදවා ගැනීමට හැකියාව තිබෙනවා.

එවැනි මහාපරිමාණ ව්‍යාපෘතීන්, විශේෂයෙන්ම ගංවතුර පාලනය කිරීමේ උපාය මාර්ග සඳහා ගොඩනැගිය යුතු ආයතනය ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව බවත් ඒ සඳහා මූලික පිඹුරුපත් මේ වන විට සකස් කරමින් සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න