අම්පාර නොසන්සුන් ! - 'පොහොට්ටු ජයෙන් “සිංහල දැඩි මතධාරින්” හිස ඔසවලා'

අම්පාර නොසන්සුන් ! - 'පොහොට්ටු ජයෙන් “සිංහල දැඩි මතධාරින්” හිස ඔසවලා'

මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දුන් පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) පළාත් පාලන මැතිවරණයෙන් ලද ජයග්‍රහණය සමඟ නැවත වරක් සිංහල දැඩි මතධාරි කණ්ඩායම් හිස ඔසවා ඇති බවට ආණ්ඩු පාක්ෂික පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

අම්පාරේ සිදු කරන ලද මුස්ලිම් විරෝධි ප්‍රහාරය එහි ප්‍රතිඵලයක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එය යම් කුමන්ත්‍රණකාරි ක්‍රියාවක් බවට 'සිලෝන් ජර්නල්ස්' හා කියා සිටියේය.

“ජන්ද ප්‍රතිඵලේ එක්ක එක්ස්ට්‍ර්ම් අය අයේ ඔලුව උස්සලා. ආණ්ඩුව මේක නවත්තන්න වහාම ක්‍රියා මාර්ග ගන්න ඕනෙ. අගමැතිවරයා නීතිය හා සාමය අමාත්‍යංශය බාර අරන් දවස් දෙකෙන් මෙහෙම දෙයක් වුනේ මේක යම් ක්‍රමන්ත්‍රණකාරි වැඩක් ” යැයි මන්ත්‍රිවරයා සඳහන් කළේය.

පොලිසියටත් චෝදනා:

සිද්ධිය සිදු වු ස්ථානයේ සි‍ට පොලිස් ස්ථානය ඇත්තේ මීටර් 300 පමණ දුරක් බව කී මන්ත්‍රීවරයා ප්‍රහාරය පාලනය කිරීමට පොලිසිය පියවර නොගැනීම සම්බන්ධව දොස් පවරන ලදී.

ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට නොගත් බව මෙන්ම විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව අම්පාර පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

වඳ බෙහෙත් !

ආහාර ගැනීම සඳහා සිංහල තරුණයක් පිරිසක් විසින් 26 සඳුදා මධ්‍යම රාත්‍රියේ අම්පාර නගරයේ පිහිටි මුස්ලිම් වෙළඳ සැලකට ගොස් ඇති අතර එහිදි තමන් ගත් ආහාර වලට වඳ බෙහෙත් දමා ඇති බවට එම තරුණයන් චෝදනා කර ඇත.

දෙපිරිස අතර සිදු වු බහින් බස් වීමකින් පසුව පැමිණි සිංහල තරුණයන් කණ්ඩායමක් විසින් එම වෙළඳ සැලට සහ තවත් මුස්ලිම් වෙළඳ සැල් හතරකටත් අම්පාර ජුම්මා මස්ජිත් මුස්ලිම් දේවස්ථානයටත් පහර දී ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ ආපන ශාලාව "වඳ පෙති" දමා අහාර ලබාදෙන බවට එල්ල කරන චෝදනාව ගැන ද වෙනම පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් වාහන කිහිපයකට ද අලාභ හානි සිදු වී තිබේ.

ප්‍රහාරවලින් අනතුරුව අම්පාර නගරයේ පොලිස් ආරක්ෂාව ද තර කොට තිබේ.

ampara

මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු යයි ප්‍රදේශයේ දේශපාලකයන්, ආගමික නායකයන් හා ආරක්ෂක අංශ අතර අඟහරුවාදා (පෙබරවාරි 27) දහවල් අම්පාර දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

ප්‍රදේශයේ සාමය ආරක්ෂාවන ආකාරයට කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ එහිදී සියලු පාර්ශව වලින් ඉල්ලා සිට තිබේ.

අඟහරුවාදා උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මෙම පිළිබඳව අවධානයට ලක් වී තිබේ. මෙම "සංවිධානාත්මක ප්‍රහාරයන්" ගැන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වූ බව අමාත්‍ය මනෝ ගනේෂන් බීබීසී සිංහල සේවයට පැවසීය.

"බෞද්ධ ජාතිකවාදය":

 අම්පාර ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය දයා ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ "රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇතිකර තිබෙන" බවය.

amnesty 500"රජය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් සහ සාමය, සංහිඳියාව කඩා බිඳ දැමීම මුල්කරගෙන ඇතිවූ මෙම තත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය මැඩපැවැත්වීමට වහා පියවර ගෙන තිබේ," යනුවෙන් ද අමාත්‍ය දයා ගමගේ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය ගැන සිය වාර්ෂික වාර්තාව නිකුත් කළ ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් සංවිධානය, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාර යළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව සඳහන් කළේය.

ගතවගිය 2017 වසර තුළ වරින්වර තැනින් තැන වාර්තා වූ සහමුළින්ම අවසන් කිරීම දුෂ්කර ජනවාර්ගික නොසංසුන් තත්වයන් සහ සුළු ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර පිළිබඳව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සයිඩ් අල් හුසේන් කුමරු ද අවධානය පළ කර තිබුණි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2017-18 වසරට අදාළ සිය වාර්තාව මානව හිමිකම් මණ්ඩලය වෙත යොමු කරමින් ඒ බව පවසන මහ කොමසාරිස්වාරයා, උදාහරණයක් ලෙස පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ගිංතොට ප්‍රදේශයේ පැතිර ගිය සිංහල-මුස්ලිම් ගැටුම් නිසා මුස්ලිම් ජනයා සතු නිවාස සහ ව්‍යාපාරික ආයතන හැත්තෑවක් පමණ විනාශ වූ බව සිහිපත් කර තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න