ආරක්ෂක ආමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ අගමැති පදවියට පත්කොට, මීළඟ ජනාධිපතිවරණයටත් තරග කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උත්සාහය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මේ බව සඳහන් කර සිටින අතර ඒ බීබීසී මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.
අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ අගමැති පදවියට ගෙන ඒමේ එක පියවරක් ලෙස බවත් ජනාධිපතිවරයාගේ "අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතාව" කවරක් දැයි පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේ ඔහු හැසිරුණු අන්දමින් පැහැදිලිව දක්නට ලැබුණු බවත් එහිදී බිමල් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
මෛත්‍රී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේ නෑ
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය. "එතුමා ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ. ඒක පැහැදිලියි. ඒ නිසා නැවත ජනාධිපතිවරණයකදී ඔහුට මහින්ද රාජපක්ෂ මහතා ළඟ තියෙන ඡන්ද ටික අවශ්‍යයි. ඒ නිසා ඔහුට ඕනකම තිබුණා මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ වෙනත් පුද්ගලයෙක් සිටිනවා නම් ඔහුගේ සහයෝගයත් තමන්ට ලබාගන්න."
ඒ අනුව බිමල් මන්ත්‍රීවරයාගේ විග්‍රහය වන්නේ ගෝඨාභය රාජපක්ෂ ද "හවුල් කරගෙන" ජනපතිවරණයට ඉදිරිපත්වීම ජනපති සිරිසේනගේ සැලසුම වී තිබූ බවය.
මං තවමත් ඇමරිකානු පුරවැසියෙක් - ගෝඨාභය
පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජනපදයේ සිට යළි ලංකාවට පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නට ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, "බැහැනේ මම ඇමරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ," යනුවෙනි.
තමන් තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු වන බැවින් දේශපාලනයට පිවිසීමේ සැලසුමක් "තවම නැහැ," යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළේය.
පැරදුණා නම් අඩි හයක් පොළව යට
කෙසේ වුවත් 2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සඳහන් කර සිටියේ යම් ලෙසකින් තමන් මැතිවරණයෙන් පරාජය වූවානම් තමන් මෙන්ම තම පවුලේ උදවියටත් මැතිවරණය වෙනුවෙන් උදව් උපකාර කල හිතවතුන් රැසකට අඩි හයක් පොළව යට වැලලෙන්නට සිදුවීමේ අවධානමක් පැවති බවය.
එසේම ජනපතිවරණය දින ජීවිත ආරක්ෂාව පිණිස තමන් මිතුරෙකුගේ නිවසේ රාත්‍රිය ගත කළ බවද ජනාධිපතිවරයා පවසා තිබිණ.

