‘‘දැවෙන ප‍්‍රශ්න විසඳන දේශපාලනික වැඩපිළිවෙලක් වහාම අවශ්‍යයි’’- ඇමති පාඨලී

‘‘දැවෙන ප‍්‍රශ්න විසඳන දේශපාලනික වැඩපිළිවෙලක් වහාම අවශ්‍යයි’’- ඇමති පාඨලී

සති දෙකකට ආසන්න කාලය තුළ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරු, ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා ප‍්‍රමුඛව කටයුතු කල බෞද්ධ භික්ෂූන් වහන්සේ ඇතුළු විද්වත් පිරිස් සේම සාමාන්‍ය ජනතාව අනෙකුත් කි‍්‍රයාදරයන් විශාල පිරිසක් සමග සංවාදයේ නියැලී ලබාගත් නිගමන සහ ප‍්‍රතිචාර වල අවසන් නිගමනය වී ඇත්තේ දේශපාලන ප‍්‍රතිසංස්කරණයට සේම රටේ මහජනයාගේ දැවෙන ප‍්‍රශ්න විසඳන වැඩපිළිවෙලක කඩිනම් අවශ්‍යතාව බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මේ වබ සඳහන් කර සිටියේ 26 වනදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

මේ වන විට ආණ්ඩුව විවිධ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණ ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර වන දින 100 වැඩපිළිවෙල, 2020 දක්වා වූ වැඩපිළිවෙල සහ 2025 ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ඒ අතර වේ. ඒ සියල්ල එකට කැටිකොට ආර්ථික, සමාජීයීය සහ දේශපාලනික වශයෙන් අත්‍යාවශ්‍ය ප‍්‍රමුඛ කාරණා වෙත අවධානය යොමු කරමින් ඉදිරි තුන් මාසයට සහ 18 මාසයට ගැලපෙන වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සිටින 50 දෙනෙකුට අධික තරුණ මන්ත‍්‍රීවරුන්ටත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින තරුණ මන්ත‍්‍රීවරු 36 දෙනාත් එකතු කර ගනිමින් ඔවුන්ගේ වගකීමට යටත්ව එම වැඩපිළිවෙල විධිමත්ව කි‍්‍රයාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිපලය සහ පසුගිය කාලසීමාවේ රටේ පැවති අනෙකුත් මැතිවරණ සම්බන්ධයෙන් අධික්‍ෂණය කළහොත් පසුගිය 2011 පළාත් පාලන මැතිවරණයෙත්, පළාත් සභා මැතිවරණයේත්, 2015 ජනාධිපතිවරණය සහ 2015 මහ මැතිවරණය කියන මැතිවරණ 4 දීම මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ පිරිස ලබාගත් ඡන්දය ඔවුන් මෙවර 2018 පළාත් පාලන මැතිවරණයේත් ලබාගෙන ඇති බව පෙනෙනවා ඒ අනුව ඔවුන් අලූත් ඡන්දයක් ලබාගත් අලූත් පක්ෂයක් නොව, පරණ ඡන්දය අලූත් බෝඞ් ලෑල්ලකින් ලබාගත් පක්ෂයක් බව කියන්න ඕන"

පුරාජේරු කතා අනවශ්‍යයි

ඒ අනුව මේ ඡන්ද ප‍්‍රතිපලයෙන් පෙන්වා දෙන්නේ 2015 ජනවාරි 08 වෙනිදා ජනතාව අපේක්‍ෂා කළ තීන්දු තීරණ ලබාදීම වෙනුවෙන් 2015 ජනවාරි 08 වෙනිදා බලවේග එකට එකතු විය යුතු බවයි. ඒ සඳහා හුදු පක්ෂ ගොඩනගාගැනීමේ කාර්යයේ හෝ පුරාජේරු කතා වෙනවුට නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ එකට එකතු වී විධිමත් ප‍්‍රතිපලදායී ලෙස කටයුතු කළ යුතු බවයි.

ඒ වගේම ආණ්ඩුකරණයේදී යහපාලන ආණ්ඩු ක‍්‍රමයේදී, ඇති වූ දුර්වලතා තීන්දු තීරණ ගැනීමේ මන්දගාමී ස්වරූපය සහ එහිදී ජනතාව පත්ව තිබූ කලකිරීම වහාම නැති කිරීම උදෙසා පියවර ගත යුතුයි. එසේ නම් ඒ සියල්ලටම අපි යෝජනා කරන්නේ බොහොම පැහැදිලි, බලගතු ප‍්‍රතිසංස්කරණයක් ආණ්ඩුවේ අත්‍යාවශ්‍ය බවයි. එහි පළමු කාරණය විය යුත්තේ කණ්ඩායම් දෙකටම එකඟ විය හැකි වැඩපිළිවෙලක් රට හමුවේ තබා කි‍්‍රයා කිරීමයි. ඉදිරි තුන් මාසයේ කටයුතු සහ 18 මාසයක් තුළ සපුරා ගත යුතු වැඩපිළිවෙල වහාම හඳුනාගෙන දැවෙන ප‍්‍රශ්න විසඳන දේශපාලනික වැඩපිළිවෙලක් බවට එය පත්කර ගත යුතු බවයි.

ආර්ථික තලයේ කල යුතු වැඩ බොහෝයි

අද රටේ දැවෙනම ගැටළුවක් වන වතුර, නියඟය පිළිබඳ ගැටළුව, පොහොර සම්බන්ධ ගැටළුව මෙන්ම සමෘද්ධි සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් විධිමත් ක‍්‍රමවේදයක් සකසා දුගී බවෙන් රට මුදවා ගන්නා වැඩපිළිවෙලත්, ඉඩම් ඔප්පු ලබාදීම, නිවාස තනාදීමට නිවාස ණය ලබාදීම සහ ආර්ථික සහනාධාරය නිෂ්චිතව බෙදා හැරීම විධිමත් කළ යුතුයි. තවද රටේ ආර්ථික ක්‍ෂෙත‍්‍රයේ විශාල වැඩ ප‍්‍රමාණයක් ඉටු කළ යුතුව ඇත.

නුදුරේදීම ඇතිවන විදුලිබල අර්බුදය, ජල සැපයුම් සහ ජල අපවහන පහසුකම් පිළිබඳ ගැටළුව, වරායේ ධාරිතාව නැතිවී තිබීම පිළිබඳ ගැටළුව, ගුවන් තොටුපලේ උද්ගත වී ඇති ප‍්‍රශ්න සඳහා වහාම පිළියම් ලබා දිය යුතුයි.

ප්‍රශ්න විසඳන්න කල්ගත යුතු නෑ

ඒ වගේම ජනතාව අපේක්‍ෂා කළ දූෂණ මර්ධනය සඳහා වන තීන්දු තීරණ ගැනීමේ මන්දගාමී ස්වභාවය, රාජ්‍ය සේවක පඩිනඩි පිළිබඳව තිබෙන ගැටළු, වසර දෙකක් තිස්සේ දිග්ගැසෙන සයිටම් ගැටළුව වැනි ඍජුව ජන ජීවිතය සහ රටේ සමාජ ආර්ථික තත්වයන් සමග ගැටෙන ගැටළු සඳහා කඩිනම් පිළිතුරක් රජය විසින් ලබාදිය යුතු කාලය එළඹ තිබෙනවා. මේ සියළු ප‍්‍රශ්න ඉකුත් මැතිවරණයට බරපතල ලෙස බලපෑ බව අමතක කරන්න හොඳ නෑ. 2016 - 2017 පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ රට පුරා උද්ඝෝෂණ 1414 ක් සිදුව ඇති බවත් එයින් 341 ක්ම සයිටම් අර්බුදය හේතුවෙන් නිර්මාණය වූ උද්ඝෝෂණ බවයි.

ඡන්ද ක‍්‍රමයේ ඇති ප‍්‍රායෝගික අත්දැකීම් වේවා, ඉදිරි පළාත් මැතිවරණ ඡන්ද ක‍්‍රමය වේවා, ඉන් ඔබ්බට යන කාරණා වේවා රටේ යහ පැවැත්ම වෙනුවෙන් සමථයකට පත් කිරීම නිවැරදි සාධනීය මට්ටමින් රාජ්‍ය යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම සහ පොදු මහජනතාව මුහුණ දෙන ප‍්‍රශ්න විසඳීම සඳහා වන දේශපාලන වැඩපිළිවෙලක් රජය සැකසිය යුතුයි. එසේ නැතිනම් නම් එය කණ්ඩායමක් ලෙස අපට ඉදිරිපත් කරන්න පුළුවන්. එය ක්‍රියාත්මක කරන්නේ කොහොමද යන්න සාකච්ඡා කර සකස්කර ගන්න පුළුවන්.

මෙම අවස්ථාවට පක්ෂයේ සම සභාපතිවරුන් වන පූජ්‍ය හැඩිගල්ලෙ විමලසාර හිමි සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, උප සභාපතිනි නිරෝෂා අතුකෝරළ සහ පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න