එන එන දේශපාලකයින්ට වඳින්න දරුවන්ව පුරුදු කරන්න එපා - ඇමති මංගල

එන එන දේශපාලකයින්ට වඳින්න දරුවන්ව පුරුදු කරන්න එපා - ඇමති මංගල

පාසලට පැමිණෙන ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ සිට කැබිනට් අමාත්‍යවරයා දක්වා බුලත් දී වඳිමින් බලය ඉදිරියේ නැමෙන්න පුරුදු කිරීම සිදු නොවිය යුත්තක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ 26 වනදා මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය විවෘත කිරීම සහ නව සිවු මහල් පංති කාමර ගොඩනැගිල්ලට මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ගරු කළයුතු අයට ගරු කරන අතර කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කිරීම සමාජ අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවය.

"මම උදේ මෙතනට ආවම ශිෂ්‍ය නායිකාවක් වෙන්න ඇති මට බුලත් අතක් දීල වැන්ද. මම විශ්වාස කරන හැටියට මෙය සිදු නොවිය යුත්තක්. බලය ඉදිරියේ අපි කාටවත් නැමෙන්න ඕනෙ නෑ. තමන්ගෙ ආගමේ ශාස්තෘවරුන්ට වඳින්න, පූජ්‍ය පක්ෂයට වඳින්න, මවට පියාට වඳින්න, ගුරුවන්ට වඳන්න. ඒ ඇති. මෙතනට ප්‍රාදේශීය සභාවේ සභාපති ආවත් වඳිනවා, මන්ත්‍රී ආවත් වඳිනවා, කැබිනට් ඇමැති ආවත් වඳිනවා. මම ගෙදර ගිහින් මොන විදිහේ නීති විරෝධී වැඩ කරනව ද කියල ඔයාල කොහොම ද දන්නෙ? ඒ නිසා ගරුකරන කෙනෙකුට ගරු කරන්න. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් සමාජයක් බිහි කරන්නයි අපට ඕනෙ."

ගෝත්‍රික මත පරදා - ඩිජිටල් විප්ලවයට සරිලන තරුණ පරපුරක්

එසේම ඩිජිටල් විප්ලවයට සරිලන ලෙස තරුණ පරපුරක් නිර්මාණය කිරිම සහ ගෝත්‍රික මත පරදා නවීන ලොව ජය ගත හැකි තරුණ පරපුරක් බිහි කිරීම රජයේ අපේක්ෂාව බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර රටක් දියුණවට පත් වීම යනු තරුණ පරපුර අධ්‍යාපනය අතින් ඉදිරියට ගමන් කිරීම බවද අවධාරණය කර සිටියේය.

තවද 2014 අයවැය තුළ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 196 කට අඩුවෙන් වෙන් කල නමුත් මෙවර අයවැයෙන් බිලියන 333 පමණ අධ්‍යාපනය වෙන් කල බවද එහිදී අමාත්‍යවරයා සිහිපත් කර සිටියේය.

PIC 01

PIC 06

PIC 04

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න