ගෙවී ගිය වසර 24 පුරා අවස්ථා ගණනාවක දී එජාපය එහි ප්‍රමුඛ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 28 ක් කාලයෙන් කාලයට බිල්ලට දී ඇති බවත් එහි අවසන් බිල්ල රවී කරුණානායක වන අතර මීලග බිල්ල මහ ලේකම්වරයා වන කබීර් හෂීම් අමාත්‍යවරයා බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් එජාප මහලේකම් කබීර් හෂීම් අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් මේ බව අවධාරණය කරන අතර ඒ එජාප මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානී, රජීව් සෙනෙවිරත්න විසින් මැතිවරණ කොමිසම වෙත සිදුකර ඇති පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමින්ය.
විපක්ෂයේ සිටිය දී කැෆේ සංවිධානයේ කටයුතු එජාපයට වාසිදායක වූ නමුත් එජාපයට ආණ්ඩු බලය ලැබුණු පසුව එම ආයතනය අගතිගාමී වන්නේ‘ තත්වයට පත්වුයේ කෙසේ ද? යන්න එජාප නායකත්වය විසින් පැහැදිළි කල යුතු බවද එම ලිපියේ අවධාරණය කර තිබේ.
2018. 02.02 දින එජාප මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානී රජීව් සෙනෙවිරත්න විසින් මැතිවරණ කොමිසම වෙත අදාළ පැමිණිල්ල සිදුකර ඇත.
ඒ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක අධ්‍යක්ෂවරයෙක් දේශපාලන කරුණු පිළිබදව පුවත්පත් නිවේදන හා හඩ සටහනක් ඉදිරිපත් කරමින් පක්ෂග්‍රාහීව මැතිරවණ සමයක කටයුතු කරන බව දැනුම්දෙමින්ය.
ඊට ප්‍රතිචාර දක්වමින් කැෆේ සංවිධානය එජාප මහලේකම්වරයා වෙත යොමුකළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එජාප මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානී විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදුකල පැමිණිල්ල හරහා එල්ල කර ඇති චෝදනාව පදනම් විරහිත, අගතිගාමී සහ අසත්‍ය මත පදනම් වූ චෝදනාවක් බවත් එම චෝදනාව තරයේ ප්‍රතිකේෂප කරන බවත්ය.
2008 සිට අද දක්වා එක්සත් ජාතික පක්ෂය කැෆේ සංවිධානය සමග සෑම මැතිවරණ සමයේ දී ම කටයුතු කර ඇති බවත් එහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස කීර්ති තෙන්නකෝන් එජාපයට උපකාර කර ඇති බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධාකය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇති බවද සිහිපත් කර ඇති එම ලිපියේ කරුණු 12ක් සම්බන්ධව එජාප මහ ලේකම්වරයාගේ අවධානයට යොමුකර ඇත.
කරුණු 12ක් සම්බන්ධව එජාප මහ ලේකම්වරයාගේ අවධානයට යොමුකර කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂවරයා විසින් එජාප මහ ලේකම්වරයා වෙත යවන ලද එම ලිපිය අප වෙත ලැබී ඇති අතර එම කරුණු මෙසේය.
සදාචාරය කියා දෙයක් ඇති බව දන්නවාද ?
1. කැෆේ සංවිධානය වෙත එල්ල කරන චෝදනාව ලිඛිතව ලබා දෙන ලෙස මා විසින් රජීව් සෙනෙවිරත්න වෙතින් 2018 පෙබරවාරි 05 දින ලිඛිතව ඉල්ලා සිටි අතර එය මේ දක්වා මා වෙත ලැබී නැත. රජීව්, මා වෙත පවසා සිටියේ එය අතහැර දමන ලෙසය. මෙවැනි බරපතල චෝදනාවක් මැතිවරණ කොමිෂන් සභාව වෙත සිදු කරන විට අවම වශයෙන් එම චෝදනාව ගැන විමසීමේ සදාචාරයක්, එම පැමිණිල්ලේ පිටපතක් අප වෙත ලබාදීමේ සදාචාරාත්මක වගකීමක් පක්ෂ මහලේකම්වරයා ලෙස ඔබ වෙත ඇත. එම අවම සදාචාරය හෝ ඔබ විසින් අනුගමනය කර නොමැතිවීම කණගාටුවට කරුණකි.
ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මුල්‍ය වංචාව
2. ලංකා ඉතිහාසයේ සිදු වූ දැවැන්තම මුල්‍ය වංචාවක් ලෙස බැදුම්කර වංචාව ඉතිහාසයට එක්වී අවසන් ය. එක් වරක් නොව දෙවරක්ම ශ්‍රී ලංකා මහ බැංකුව, සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා බැංකුව යන රාජ්‍ය ආයතනයන් සතු මුදල් සුදු කරපටි හොරුන් විසින් මංකොල්ල කා ඇත. මේ කොල්ලකා ඇත්තේ රටේ මුදල් බවත් එයට ඔබ යටතේ පැවති රාජ්‍ය බැංකු කිහිපයක් ද සම්බන්ධ බවත් ඔබ හොදින් දනී. එවැනි ක්‍රියාවක් පිළිබද අදහස් දැක්වීම එජාපයට අගතියක් වන්නේ යැයි ඔබ සලකන්නේ නම් එයින් ගම්‍ය වන්නේ එජාපය අනුදැනුම ඇතිව ඉහත වංචාව සිදු වී ඇති බව ය.
අගතිය වුණේ වංචාවේ මහ මොළයටද?
3. උක්ත ප්‍රවෘත්තියේ මුක්‍ය හා ප්‍රකාශිත අදහස වන්නේ ‘‘එජාප උප නායක රවී කරුණානායක බැදුම්කර වංචාවේ මහ මොළය නොවන බව‘‘ ය. එය එජාපයට අගතිගාමී වන්නේ කෙසේ දැයි සවිස්තරව පැහැදිලි කිරීමක් සිදු කරන්නේ නම් මැනවි. එජාප උපනායකයා මේ වංචාවේ මහ මොළය නොවන බව ප්‍රකාශ කිරීම අගතියක් වන්නේ වංචාව සිදු කළ ‘මහ මොළයට‘ ම පමණී. මන්ද, රවී කරුණානායක බිල්ලට දී සැගවී සිටින්නේ ඔහු බව අප සංවිධානයේ අවබෝධය බවයි. එමෙන්ම එය මා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ‘දුෂණ විරෝධී පෙරමුණේ‘‘ අවබෝධය වූ බව ද, අවධාරණය කරමි.
සිංගප්පුරු වැසියා ගැන කියපු දේ හරි නේද?
4. මහ බැංකු මහ මොළය ගැන ඇති අවබෝධය නිසාම අර්ජුන් මහේන්ද්‍රන් නැවත පත් කිරීමට එරෙහිව කැෆේ සංවිධානය අධිකරණයේ පිහිට පැතීය. අපගේ අදහස වූයේ මේ සිංගප්පුරු වැසියා අධිකරණ ක්‍රියාදාමයට පෙර රට හැර යන බවයි. අද සිදුව ඇත්තේ ද එයයි.
5. මාගේ ප්‍රකාශය මා විසින් සිදු කර ඇත්තේ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් ද මේ පිළිබද කරුණු විමසීමෙන් පසුවය. යම් දිනෙක ඔහු රජයේ සාක්ෂිකරුවෙකු බවට පත් වන්නේ නම්, මා කිසිදු ලෙසකින් පුදුමයට පත් නොවන බව ද කාරුණිකව සටහන් කර ගන්න.
රවී බැඳුම්කරයේ මහමොළය නොවේ !
6. බැදුම්කර වංචාවට සම්බන්ධයෙන් ද, අදාළ පළමු සිද්ධියෙන් දින කිහිපයකට පසුව 2015 මාර්තු 9 දින මා විසින් ලිඛිත ප්‍රකාශයක් සිදු කළේය. එදා පටන් මේ දක්වා ඒ පිළිබද සෑම අංශයකින්ම මා විසින් සොයා බලා, අදහස් ප්‍රකාශ කිරීම සිදු කර ඇත. මාගේ අවබෝධය රවී කරුණානායක මහතාට අල්ලස් චෝදනා, අසත්‍ය ප්‍රකාශ කිරීම වැනි අවශේෂ චෝදනා එල්ල කළ හැකි වුව ද, කුමන ලෙසකින් හෝ බැදුම්කර මගඩියේ මහ මොළය යැයි චෝදනා එල්ල කළ නොහැකි බවයි. එය සිදු කළ පුද්ගලයින් ද, එය සැලසුම් කළ පුද්ගලයින් ද, එයට පහසුකම් සැලසූ පුද්ගලයින් ද, එය වසන් කිරීමට කටයුතු කළ පුද්ගලයින් ද, එයට පෙනී සිටි නීතිඥයින් ද එකම වහලක් යට සිටී. ඒ පිළිබද විවෘත සංවාදයකට එජාප නායක, සභාපති හෝ මහ ලේකම්වරයා ලෙස ඔබට විවෘත අභියෝගයක් සිදු කරමු.
ගහ දන්නා අයට කොළ කඩාපාන්න ඕනද?
7. කෙසේ නමුත්, උක්ත ප්‍රකාශය සිදු වූ පරිසරය පිළිබද පැහැදිලි කිරීම මාගේ යුතුකමකි. දකුණු පළාතේ අපේක්ෂකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සදහා හම්බන්තොට, ගාල්ල හා මාතර දී පැවැත්වූ වැඩමුළු වලින් පසුව අපගේ දිස්ත්‍රික් නායකයින් ද, මම ද සහභාගි වූ පුවත්පත් සාකච්ඡාවක් මාතර ‘සරසි ශාලාවේ දී‘ පැවැත්වුණි. එහි දී අප කරුණු හෙළි කරනු ලැබූයේ දකුණේ පවතින තත්වය පිළිබදය. ඒවා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයේ ප්‍රාදේශීය මුද්‍රණයේ ද, රුහුණු සේවය මගින් ද, සවිස්තරාත්මක පළ කර තිබුණි. ‘‘බැදුම්කරය, මහින්ද අගමැති කිරීම, රජයට සම්බන්ධ ජනමත විචාරණය‘‘ වැනි ජාතික දේශපාලන විසින් දකුණු පලාතේ ප්‍රාදේශීය ප්‍රශ්න යටපත් වී ඇති බව අවධාරණය කරනු ලැබූයේ එජාප අපේක්ෂකයින් විසිනි. මහජනතාව සමග මැතිවරණ ව්‍යාපාර සිදු කරන ඔවුන් නිවැරදිය. ඒ වන විට බැදුම්කර මගඩිය පළාත් ඡන්දයේ තීරණාත්මක සාධයක බවට පත්වෙමින් තිබූ බව එජාප අපේක්ෂිකයින්ට ද, මැතිවරණ නිරීක්ෂකයින් ලෙස ඔවුන් සමග සම්බන්ධ වූ අපට ද රහස් නොවීය. මාධ්‍යවේදියෙකු විසින් මා වෙත යොමු කරනු ලැබු ප්‍රශ්නයයකට මා විසින් ලබාදුන් කි. ‘‘රවී කරුණානායක මහ බැංකු වංචාවේ බිල්ල බව‘‘ හොදින්ම දන්නේ එජාප මහ ලේකම්වරයා වන ඔබ ය.
මාරපන කමිටුවේ මාරම ඇස්බැන්දුම
8. ‘‘තිලක් මාරපන කමිටුව විසින් බැදුම්කර වංචාවේ සැබෑ මහ මොළකරුවන් හා සැලසුම්කරුවන් වසන්කොට එජාපයේ උප නායකයා බිල්ලට දීම මැතිවරණ ඇස්බැන්දුමක් බව ද‘‘ මම එම පුවත්පත් සාකච්ඡාවේ දී පැවසුවෙමි. ඒ බව, රවී කරුණානායක විසින් ද පළාත් පාලන ඡන්ද විමසීමට පසුව ‘නෙත් එෆ් එම් සමග පැවති සාකච්ඡාවේ දී පැවසීය. එවැනි ප්‍රකාශයකින් පසුව රවී කරුණානායක තවමත් එජාප උපනායක තනතුරේ කටයුතු කරන්නේ ඔහු සත්‍ය පවසන බැවිනි. නැතිනම්, මැතිවරණ නිරීක්ෂකයින් ගැන මැතිවරණ කොමිසමට ලිපි ලියනු පසෙක තබා රවී කරුණානායකට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුය.
මහින්දව විවේචනය කළ හැටි මතකද ?
9. මහින්ද රාජපක්ෂ රජයේ කටයුතු පිළිබද මා සම්බන්ධ සංවිධාන මගින් පැමිණිලි 340 කට වැඩි සංඛ්‍යාවක් යොමු කර ඇත. ඒ සියල්ල ගැන විමර්ශන පවත්වා දඩුවම් පැමිණවීමට අසමත් වී ඇත්තේ ඔබ ද අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන කැබිනට් මණ්ඩලය ඇතුළු දේශපාලන නායකත්වය යි. මහින්ද රජය පිළිබද කැෆේ සංවිධානය සාධාරණ විවේචණ සිදු කරන විට අත්පුඩි ගැසූ එජාපය අද බැදුම්කරය ගැන කථා කරන විට කීර්ති තෙන්නකෝන් පක්ෂග්‍රාහී යැයි ලිපි ලියයි. බලය ඇතිනම් මහ බැංකුව පමණක් නොව රටට මංකොල්ල කෑමට අයිතියක් ඇතැයි එජාපය හා එහි නායකත්වය සිතන්නේ නම් මට එහි වත්මන් නායකත්වය ගැන අනුකම්පා කිරීම හැර වෙනත් කළ හැකි දෙයක් නැත.
පැමිණිල්ලේ පිටපත දැන්වත් එවන්න
10. අවසන් වශයෙන්, මා වෙත තවමත් පිටපතක් හෝ ලබා දී නොමැති එම ලිපියේ පිටපතක් නිල වශයෙන් නියෝජ්‍ය පොලිස්පති/මැතිවරණ වෙත යොමු කර ඇති බව නිරීක්ෂණය කළෙමි. 2008 සිට එජාපය විසින් යොමු කරන ලිපි දහස් ගණනක් කියවා ඇති මට මේ ලිපිය ගැන ඇත්තේ අනුකම්පාවක් පමණී!
අවසන් බිල්ල "රවී" : ඊළඟ බිල්ල "කබී"
11. අධ්‍යයන කාර්යයක් ලෙස මම ‘එක්සත් ජාතික පක්ෂය‘ පිළිබද පර්යේෂණ කෘතියක් ලියා ඇති බව ඔබ දනී. ගෙවී ගිය වසර 24 පුරා අවස්ථා ගණනාවක දී එජාපය එහි ප්‍රමුඛ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 28 ක් කාලයෙන් කාලයට බිල්ලට දී ඇත. එහි අවසන් බිල්ල රවී කරුණානායක ය. මාගේ අතීත අත්දැකීම අනුව නම්, එහි මීලග බිල්ල මහ ලේකම්වරයා ලෙස ඔබ විය හැකිය.
12. එයට පෙර ලංකාවේ ප්‍රමුඛතව දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සිරිල් මැතිව්, ගාමිණී ජයසූරිය, ජේ.ආර්.ජයවර්ධන, ආනන්ද තිස්ස අල්විස්, දහම් විමලසේන, නන්දලාල් ප්‍රනාන්දු, රංජන් විජේරත්න, සිරිසේන කුරේ, ගාමිණී විජේසේකර වැනි කීර්තිමත් ලේකම්වරුන් ගත් මග යන්නට ධෛර්ය හා ශක්තිය ලැබේවා යැයි පතමි.

