Image

(ඩේලි ගොසිප්) - අපි නොදන්න සන්ධාන

(ඩේලි ගොසිප්) - අපි නොදන්න සන්ධාන

පහුගිය දවස්වල ඕගොල්ලට මතක ද ලංකාවේ දෙමළ භාෂාවෙන් දේශපාලනය කරන පක්ෂ හයක් එකතු වෙලා වෙනම සන්ධානයක් හැදුවා. ඔය වෙලාවෙ සමහර සිංහල බෞද්ධ කණ්ඩායම් නම් ඕක දිහා බැලුවේ වපරැහින්. අර මොකද දෙමළ භාෂාවෙන් කතාබහ කරන අයට වෙනම පක්ෂයක් කිව්වා ම සමහරුන්ට අවුල්...

හැබැයි මේ රටේ දේශපාලනයෙන් තෙම්පරාදු වෙච්ච දේශපාලඥයෝ නම් ඕක තාවකාලික පැලැස්තරයක් කියලා නොදන්නව නොවෙයි. ඒ මොකද දෙමළ භාෂාවෙන් දේශපාලන වැඩ කටයුතු කළාට මේ රටේ මුස්ලිම් පක්ෂයි දෙමළ පක්ෂයි ඉස්සර ඉඳලා කෙළ ගත්ත හැටි දන්න අපට නම් ඔය සන්ධාන එකමුතුකම් පට්ට ජෝක්...

කවුද කියන්නකෝ ඉස්සෙල්ලාම උතුරෙන් මුස්ලිම් ජනතාව පන්නන වැඩේ පටන්ත්තේ. ඒ වැඩේට අවශ්‍ය න්‍යාය හදලා දුන්නේ. ඕවා ඉතින් පරණ කතා. වර්තමානයට ඕවා අදාල නැහැනේයි කියලා කවුරුහරි කියන්නත් බැරි නෑ...

හා හරි. අපි කියන්නේ කියන්න ගියේ මේකයි. දෙමළෙන් දේශපාලන කරන කරන මේ රටේ දෙමළ මුස්ලිම් පක්ෂ හයක් එකතු වෙලා පහුගිය දවස්වල පිහිටුවා ගත්තු සන්ධානයේ නායකයෝ ටික ඔන්න පහුගිය සති අන්තෙ දවසක  උදේ පාන්දර ජනාධිපති අනුර කුමාර දිසානායක හමබවෙන්න ඇවිල්ලා හිටියා.

ඔන්න අහන්නකො එතන වෙච්ච දේ...

 

අපේ සපෝට් ඒක ඕනෙ නම්...

ඔය විදියට එකතු වෙච්ච පක්ෂ හය දැනටමත් සමහරු දන්නවා ඇතිනේ. දන්නේ නැති අය වෙනුවෙන් කියන්නම්කෝ. පළවෙනි එක ඉලංගෙයි තමිල් අරසු කච්චි. අර සුමන්දිරන්ලගෙ එක. රවුෆ් හකීම්ලගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රාධ ක්‍රිෂ්ණන්ල ගේ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය, එතකොට සමස්ත ලංකා මහජන කොංග්‍රසය කියලා එකකුත් තියෙනවා නේ... හරියට හරි අර අමීර් අලීල ගේ. ඒකත් හවුල්. ජීවන් තොණ්ඩමන්ල ගේ ලංකා කම්කරු කොංග්‍රසය. අනිත් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය. ඒක ඇතුළෙනේ ඔය සෙල්වම් අඩෙක්කලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්,  මුරුගේසු චන්ද්‍රකුමාර්, වගේ අය ඉන්නෙ. ඔන්න පක්ෂ හය. එයාල තමයි ඇවිත් හිටියේ..

newopp

සාකච්ඡාවට කාරණා තුනක් ම නියමිත වෙලා තිබුණා. න්‍යාය පත්‍රයක් තියෙනවනේ...

එකක් ව්‍යවස්ථා සංශෝධනය, දෙවෙනි එක වතුකරේ ඉඩම් සහ නිවාස ප්‍රශ්නය, තුන්වෙනි එක තමයි පළාත් සභා මැතිවරණය.

පළාත් සභා ගැටලුව ගැන කතා කරනකොට නම් ජනාධිපතිට තිබුණේ එකම එක සරල උත්තරය යි. ඒක ගැන තීරණයක් ගන්න තේරීම් කාරක සභාවක් පත් කරලා තියෙනවා. ඒක ගැන ඒගොල්ලෝ සාකච්ඡා කරනවා. වාර්තාව ආවම ඒ ගැන තීරණයක් ගමු. දැන් හරි නේ...

මේ විදියේ උත්තර ගන්නැයි අපි ආවේ කියලා හිතපු සුමන්තිරන් ඔන්න ඇද්දා ඊළඟ ප්‍රශ්නේ...

කඩිනම් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන මේ දවස්වල දේශපාලන කරළියේ සාකච්ඡා වන බව පේනවා. ආණ්ඩුවට ඒක කරන්න තුනෙන් දෙකේ දේශපාලන හයියකුත් තියෙනවා. හැබැයි ඒක පටු අරමුණු සහිත ව්‍යවස්ථා සංශෝධනයක් වුණොත් වැරදියි. මේ දවස්වල කතාව යන්නේ එහෙම.

''මේ වෙනකොට විවිධ ජාතීන්ට, ජන කොටස්වලට අනන්‍ය ප්‍රශ්න තියෙනවා. අන්න ඒ අයත් එක්ක සාකච්ඡාකරලා කිසි කෙනකුට අගතියක් වෙන්නෙ නැති උත්තරයකුත් එක්ක මේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය වෙනවනම් තමයි හොඳ. එහෙමනම් අපි අපේ සපෝට් එකක් දෙනවා. මොකද හැත්තෑ දෙකේ හැත්ත අටේ ව්‍යවස්ථා සංශෝධන දෙකේදිම සුළු ජාතීන්ට අගතියක් වුණා..."

ඔන්න ඔහොමයි සුමන්තිරන් ඇද්ද බාල්දිය. හකිමුත් ඔය හිටියේ ඕක ගැන කට ඇරගෙන...

 

ජනපති ගේ කෝකටත් තෛලය

''ඔව්... එහෙමනම් මේක ඔය කියන තරම් කඩිනමින් කරන සංශෝධනයක් විය යුතු නෑ...''

WhatsApp Image 2026 08 04 at 3.36.09 AM

කට්ටිය මේ බාල්දිය ඇදගෙන එන්නේ කොතෙන්ටද කියලා අනුර කුමාර ජනාධිපති නොදන්නවා නෙවෙයිනේ. ඔන්න ඉතින් එයා හිනා වෙලා සුපුරුදු සේප් න්‍යායෙන් උත්තරේ දෙන්න පටන් ගත්තා...

කෝකටත් තෛලය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඉස්සරහට දාලා පත අට එකට හින්දලා දුන්නේ නැද්ද මෙන්න මෙහෙම... තිත්ත කසාය මී පැණිත් එක්ක

''විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සංශෝධනයක් ගෙන ඒමයි අපේ ස්ථාවරය. මේ වෙලාවේ කඩිමුඩිය ගේ න ව්‍යවස්ථා සංශෝධනයට වඩා අපි ඔක්කොම කතාබහ කරලා සම්මුතියකින් සංශෝධනයක් ගේන එක තමයි වඩා වැදගත්.''

ඔන්න ඔහොම ජනාධිපති ලිස්සලා ගියේ නැද්ද එතනින්. එතනදී අර මේ දවස්වල කතාබහට ලක් වෙච්ච අගවිනිසුරු ප්‍රශ්නය වෙනුවෙන් ගේන සංශෝධනය ගැන නං කතා කළේ නෑ. ඒක මගහැරියා.. කොහොම හරි කඩිමුඩියක් නෑ කියනවනේ. ඒ මැදෑ...

 

නළියන උඩරටටත් උත්තර

ඔන්න ඉතින් උඩරට කට්ටිය නළියනවා. ඒගොල්ලන්ටනෙ ප්‍රශ්න වැඩි. දිට්වා සහන දිට්වා නිවාස, දිට්වා ඉදිකිරීම් මුකුත් නෑනේ. ගෙවල් හම්බවෙනකං වතුකරේ නිවාස අහිමි වෙච්චි ගොඩක් දෙනා තවම කූඩාරන් ඇතුළෙ.

අන්න ඒ කූඩාරන් ටිකත් දැන් ඉවරයි. කල් ඉකුත් වෙලා. වැස්සට තෙමිලා අව්වට වේළිලා දිරලා හුළඟට ඉරිලත් ගිහින්... හැබැයි ඕවයි තවමත් මිනිස්සු ඉන්නවා කියන්නකෝ. ආණ්ඩුවෙන් සුදුසු ඉඩම් හොයලා ගෙවල් හදලා පදිංචි කරනතුරු බලාගෙන. පව් නැද්ද අනේ... ඔන්න දැන් වතුකරේ දෙමළ පක්ෂ යෝජනා ටික ගේනවා. වතුවල ස්ථිරව වැඩ කරනඅයට පර්චස් දහයක ඉඩමක්, ඒකෙ නීත්‍යානුකූල අයිතිය. නිවාස හදාගන්න ණය... ඕවා ගැන කතා කරමින් රාධ කිෂ්ණන් පෙන්නලා දුන්නේ වතු සමාගම් වල විරෝධතාව නිසා ආණ්ඩු වලින් කර කර කරගන්න තියෙන වැඩවත් කරගන්න බැරිවීම...

අපි මේ ආණ්ඩුව ගැන විශ්වාසය කිව්වේ මේ ආණ්ඩුවෙන්වත් ඒ ටික කරලා දෙයි කියලා....

වතුවතු කරේ කිසිම ජනාවාසයක් නැති තැන්වල ඉදිකිරීම් නැති තැන්වල පවා පුපුරා යාම් තියෙනවා. නාය ගිහින්තියනවා. ඉතින් මේක ගැන පරිසර අධ්‍යයන වාර්තාවක් නැතුව මොකුත් කරන්න බෑ. මේ වන විටත් ඒකට වෙනම අධිකාරියක් පිහිටවලා තියෙනවා.

 

උඩරට ප්‍රශ්නයත් ෂේප්

AKDSPEEKWI7575

ඔය අස්සේ ජනාධිපති පොදුවේ කියපු කතාවත් අහන්නකෝ...

''විවිධ ජන ප්‍රජාවන් වෙන්වෙන්න තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරනවා වෙනුවට ශ්‍රී ලාංකිකයින් ලෙස එක්ව කටයුතු කරන ක්‍රමවේදයක් අපි හොයන්නේ. තමන්ගේ ප්‍රශ්න විසඳගන්න විතරක් තනි තනි ඒවා ඉල්ලීම් කරලා බෑ. අපි එකට එකතු එකතුවෙලා ප්‍රශ්න ඔක්කොම අරගෙන විසඳුම් හොයමු...''

ඔය කිව්වේ... වැඩේ කෙරෙන තැනට කතා බහ යන්නේ නැති හැඩයි. පක්ෂ නායකයින්ට එහෙම හිතෙන්නත් ඇති...

කොහොම වුනත් වතුකරේ වැඩ කරන ජනතාවට තමන්ගෙ කියලා ඉඩම ගෙයක් ලබාදීම රජයක වතු සමාගමක යුතුකම බව අනුර පිළිගත්තා. ඉදිරියේ දී වතු සමාගම් එක්ක අත්සන් කරන  ගිවිසුම්වලට ඔය යෝජනාව ඇතුළත් කරනවා කියලා තමයි කිව්වේ. ඉඩම් ප්‍රශ්න නිවාස ප්‍රශ්න වතුකරයට විතරක් නෙවෙයි. උතුරේ නැගෙනහිර අපටත් තියෙන බව ඔන්න අනිත් නායකයොත් කියනවා...

 

චැප්ටර් ක්ලෝස් වුණ විදිය

පළාත් සභා නොපවත්වා ඉන්න හේතුව මොකක්ද කියලත් කට්ටිය අහනවා. ප්‍රශ්නෙ තියෙන්නේ පළාත් සභා ඡන්ද ක්‍රමය සීමා නිර්ණය කොමිසමේ කටයුතු වගේ කතන්දර. ඔයා අස්සේ උතුරු නැගෙනහිර ජනතාවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය වගේ දේවල් එක්කත්  කෝන්තර ගොඩක් තියෙනවනේ. ඒගොල්ලෝ ඉඩම් අල්ල ගන්න දෙන්නේ නෑනේ. ජනාධිපතිට ඉතින් ඔය ගැනත් කේලම් ගොඩයි...

හරි හරි ඉතින්... පිළිවෙලට ක්‍රම ක්‍රමයෙන් යමු. ඔක්කොම එක පාර බැහැ නේ...

ජනාධිපතිට කියන්න ඕන වුනොත් උත්තරය ඕක තමයි. හැබැයි එයා ඒක එක එකපාර කිව්වේ නෑ. හිනාවෙලා ෂේප් න්‍යායින් ඔන්න ඔය ටික නොකියා කිව්වා.

කොහොම හරි වැඩේ ගානට ෂේප්. හැබැයි ඉතින් ජනාධිපතිට වුවමනා වුණේ නම් ව්‍යවස්ථා සංශෝධනය  ගැන කතා කරලා අධිකරණ ක්‍ෂේත්‍රයටඅදාළ සංශෝධන ගැන කතා කරන්න උනත් සුමන්තිරන් ඉස්සරහට පැන්නනේ. ඉතින් ඔතෙන්දි උනේ හොරාට කලින් කෙහෙල්  කැන වැට පැන්න වගේ වැඩක්...

762719655 1990822981587723 5993378005004241265 n

සුමන්තිරන් වැඩේ හොඳට දන්න ලෝයර් නිසා ඒ කතාවත් හොඳ පැත්තට කෙරුනෙ නෑ. අන්තිමේ ව්‍යවස්ථාව ගෙඩිය පිටින් අරගෙන ඒක ගැන කතා කරලා චැප්ටර් ක්ලෝස්....

******

 

රනිල් සියඹල ගෙනල්ල ම නෑ

පහුගිය ඉරිදා දවල් සිනමන් ලයිෆ් හෝටලේ ලොකු වෙඩින් එකක්. මතකද අනුෂ පැල්පිට. මොකද මතක නැත්තෙ... අර රනිල්ගේ යහපාලන ආණ්ඩුව කාලේ සිල් රෙදි කේස් එකට  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග එක්ක හිරේ ගියේ... එහෙමත් අමතක වෙනවද නේ... ද ඔය කාලෙ නම් ඒකට කට්ටිය පට්ට පළු පතුරු යනකම් බැන්නෙ රනිල්ට.  ඔන්න බලන්නකෝ අද කට්ටියට ඕවා අමතක හැටි...

සිනමන් life එකේ තිබුණු වෙඩින් එක අනුෂ පැල්පිට ගේ පුතා ගේ. පුතා බඳින්නෙ නැතුව  ඉතින් ආයෙත් සැරයක් ඉතින් අනුෂ බඳින්නැයි නැද්ද.... අනුෂ ඉතින් දීර්ඝකාලීන අත්දැකීම් තියෙන පරිපාලන නිලධාරියා හින්දා හිටපු ඇමතිවරු ගොඩක් අයට මේ වෙඩින් එකට ආරාධනා කරලා.  ආනන්ද ඉස්කෝලෙ අසූ දෙකේ කණ්ඩායමේ හිටපු පොරක්නේ. අන්න ඒක නිසා සිසිර පරණතන්ත්‍රීලා, ධර්මන්ලා ඔය වගේ ආනන්ද පරණ සෙට් එකකුත් බැහැලා හිටියේ.  විශේෂ ආරාධිතව ඔක්කොම ඉහළ පරිපාලන නිලධාරීන් වගේ ම ඉහළ දේශපාලඥයෝ.

ඔය හිටියේ රනිලුත් විශේෂ ආරාධිතයෙක් වෙලා...  දන්නවද රනිල් තියරිය. 2015 කාලයේ රනිල් ගේ ආණ්ඩුව තිබුනට ඇතුළෙ සිද්ධ වෙච්ච ගොඩක් දේවල් එයාට කරන්න සිද්ධ වුණේ අනුර කුමාරෙගේ බලපෑමට කියලයි එයා දැන් ඇඟ බේරගන්නෙ.  ඒ කියන්නෙ එතකොට අනුෂ පැල්පිටලා ලලිත් වීරතුංගල හිරේ ගිහිල්ල තියෙන්නෙත් මේ අනුරලාගේ වැඩ නිසා. රනිල් සියඹල ගෙනල්ලම නෑ...

 

රනිල් ගේ සුළුතර ආණ්ඩුව

image 63fc80ee99

ඔන්න බලන්නකෝ රනිල් හිටපු මේසේ මගුල් ගෙදර ඇවිත් හිටපු කට්ටිය.  රනිල් ඇරුනම ගෝඨාභය, නාමල්, දිලිත්, අනුරයාපා ඇතුළු කට්ටියක් ම ඔය මේසෙ වට වෙලා ඉන්නේ... අනුෂලගේ මගුල් ගෙදර වැඩි හචා බචා සද්ද එහෙමත් නැති හින්දා ඔක්කොටම ළංවෙලා දේශපාලනය ගැන හොඳ සංවාදයක් දාගන්න අවස්ථාව ලැබිල... ඔන්න දැන් කට්ටියම එකතුවෙලා කතා කරන්නෙ මේ ආණ්ඩුව නාන නෑම ගැන. ඕන් අපි නං නානව කියල කියන්නෑ. හැබැයි විපක්ෂයේ කට්ටිය ඔක්කොම කියන්නේ නානවා,  හත් පොලේ ගා ගන්නවා වගේ කතා නේ... කමක් නෑ... . ඕන මගුලක් තියාගත් දෙන්කෝ....

මේ අස්සෙ අහන්නකෝ රනිල් කියපු අමුතු විග්‍රහය....

"අපි ඕගොල්ලා විපක්ෂය හැටියට ඉඳගෙන මෙච්චර කාලයක් හැමදාම හැප්පිලා තියෙන්නේ බහුතර ආණ්ඩුත් එක්ක. හැබැයි මේ කාරණා අපි ඔන්න හැප්පෙන්න සුළුතර ආණ්ඩුවක් එක්ක..."

රනිල් ලොක්කා එහෙම කියනකොට කවුරුත් එයා දිහා අමුතු විදිහකට බැලුවේ මෙයාට දැන් මංඤ්ඤංද කියලා....

''මන්ත්‍රීවරු එකසිය පනස් නවයක්,  තුනෙන් දෙකක බහුතරයක් එක්ක ඉන්න ආණ්ඩුව කොහොමද සර් සුළුතර වෙන්නේ...?

ඔහොම ඇහුවෙ අනුර යාපා...

 ඒ පේන හැටිනේ...  මේ රටේ හැබෑ ජනමතය බලන්න එතනින් අරගෙන බෑ.  ඕගොල්ලො යන්න ජනාධිපතිවරණයට.  ජනාධිපතිවරණයට අනුර කුමාරට බහුතරය තිබුණ ද සියයට පනහේ. නැහැනේ.  අන්න ඒක තමයි හැබෑ ජනමතය. ඊට පස්සේ මහාඡන්දෙදි ඉතිං රැල්ලට ගහගෙන ගහගෙන ගියා අපේ මිනිස්සු ගෙවල්වල ඉන්නකොට.  ඒක ජන මතය නෙවෙයි,  ඒක රැල්ල...

හතිලව්වයි ඇත්ත නේන්නම්. දැන් බලාගෙන යනකොට සිංගප්පූරැවේ කරපු ඔපරේෂන් එකෙන් පස්සේ මේ මනුස්සයා ගේ බ්‍රේන් එක මාර ටියුන්... ඔය කතාව දිලිත් කිව්වේ ළඟම හිටපු නාමල්ට...

 

ලිච්ඡවි රජ දරුවෝ

ඕගොල්ලෝ ඇයි කලබල වෙන්නේ.  මම කිව්වේ අද ගත්තත් මේ ආණ්ඩුව මේ සමාජය ඇතුළෙ සුළුතරයක් වෙලා. බහුතරය අපි.  බහුතරය විපක්ෂය.  හැබැයි ආණ්ඩුවට තියෙන චාන්ස් එක තමයි අපි විපක්ෂය හැටියට ඉන්නෙ බෙදිලා  වීම. ඒත් චාන්ස් එකේ වාසිය ආණ්ඩුව නියමෙට ම පාවිච්චි කරනවා. ආණ්ඩුව පොලිසිය පාවිච්චි කරනවා, ආණ්ඩුව දැන් අධිකරණය පාවිච්චි කරනවා. ආණ්ඩුව දේශපාලන බලය පාවිච්චි කරනවා.  හැබැයි ආණ්ඩුවට අපි මේක දන්වනවා. ආණ්ඩුව නෙවෙයි බහුතරය බහුතරය ඉන්නේ විපක්ෂයට කියන එක පෙන්නුවේ නැත්නම් අපි තවදුරටත් සාර්ථක නෑ...

''සර්ගේ කතාව හරියටම හරි...  අපිට සර් වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා...

 මම ඒකයි කියන්නේ... අපි මේ රටේ සාර්ථක දේශපාලනයක් කරන්න නම් විපක්ෂය බෙදෙන්න ඇරලැ  බෑ... අපි එකතු වෙන්න ඕන එකතුවෙලා අපි අපේ ප්‍රශ්න සාකච්ඡා කරන්න ඕන අනාගත සැලසුම් එකතුවෙලා හදන්න ඕන... එක් වෙලා තීන්දු ගන්න ඕන...''

ඔහොම කියනකොට රනිල් ඉස්සර ආණ්ඩුව අරගෙන කියාපු ලිච්ඡවී රජදරුවන් ගෙ කතාව මතක් වෙන්නේ නැද්ද...  ඒක තමයි මේ රනිල් අදත් වෙන විදිහකට විපක්ෂය පැත්තට ම ගලපළ කියන්නේ...

''සර් ඕනම වෙලාවක මේ වැඩේ සංවිධානය කරන්න.  විපක්ෂය සංවිධානය කරලා අපි සාකච්ඡා කරමු.  සර්ත් එක්ක සාකච්ඡා කරන එක අපිට සතුටක්... රටට වැදගත්...''

දිලිත් එහෙම කිව්වම රනිලුත් ඕකට පොඩි පොඩි කතා ටිකක් කිව්වා.  සතියකට සැරයක් හරි එකතු වෙලා මේ වගේ සාකච්ඡා කරලා ප්‍රයෝගය සකස් හදාගන්න එකේ වැදගත්කම කිව්වා....

''සර් ඕක ලෑස්ති කරන්න... අපි එනවා ඕනම තැනකට...   එහෙම නේද නාමල්...?'''

''අපි නම් දැනටමත් හමුවෙලා සාකච්ඡා කරනවා...''

නාමල් හිනාවෙවී ඔන්න ඔහොම කියද්දී රනිලුත් ඔළුව වනලා ඒක අනුමත කරේ...

එහෙමනම් ඉතින් ඔන්න අලුත් ආරංචිය...  විපක්ෂය ඇතුළේ දැන් දැන් මොන මොනවදෝ වෙනවා...  කුච් කුච් හෝතාහේ.... හරිය... 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න