2026 ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත්තේ සුරත් ද මැල් විසින් රචිත ''ණයානන්දය'' කෘතිය බව දැන් ලංකාව මතු නොව ම ලොව ම දන්නා කරුණකි. නමුදු ස්වර්ණ පුස්තක සම්මානයේ නිල නිවේදනය නිකුත් කිරීමට පෙර මහාචාර්ය රත්නසිරි අරංගල සිය පිටුවෙහි පළ කර තිබූ පෝස්ටුවක් හේතුවෙන් මේ වන විට සම්මානය පිළිබඳ කතාබහක් ඇතිවී තිබේ.
මහාචාර්ය රත්නසිරි අරංගලගේ ෆේස්බුක් පෝස්ටුව
මෙම කරුණ පැහැදිලි කරගනු වස් ස්වර්ණපුස්තක විනිශ්ච මණ්ඩලයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ සුලෝචන වික්‍රමසිංහ ගෙන් මම මේ පිළිබඳව විමසුවෙමි. එම අවස්ථාවේ දී ඔහු ලබා දුන්නේ මෙබඳු පිළිතුරකි.
''මහාචර්ය රත්නසිරි අරංගල සහ මහාචාර්ය ජයන්ත අමරසිංහ මහත්වරු ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලය නියෝජනය කළේ නැහැ. ඔවුන් ස්වර්ණ පුස්තක කමිටුවේ උපදේශකවරුන් ලෙස කටයුතු කළා පමණයි. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයේ තීරණයට අත පොවන්න ඔවුන්ට අයිතියක් නැහැ. අනික ඔවුන් ස්වර්ණ පුස්තක විනිශ්චය කටයුතු ආරම්භයේ සිට ඒ අවසන් මොහොත දක්වා කිසිදු උපදේශයක් ලබා දුන්නෙත් නැහැ; අන්තිම මොහොතෙ අපිට ඔවුන් ගෙ උපදෙස් අවශ්‍යත් නැහැ. මොකද එහෙම වුනොත් ඒක විනිශ්චය මණ්ඩලයේ ස්වාධිනත්වයට හානියක්. ඔය සිද්ධිය වෙන්නෙ අවසන් පැය කිහිපයේ. ඒ නිසා ඒ අය කරන කිසිම ප්‍රකාශයක් වලංගු නැහැ. ඒ අය ස්වර්ණ පුස්තක කමිටුවේ උපදේශකයින් වූ නිසා ම ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලයට කිසිදු උපදේශයක් දෙන්න බැහැ. අවසන් මොහොතේ මම ඔවුන් විනිශ්චය සභාවෙන් නෙරපා හැරියෙත් මේ අනවශ්‍ය අතපෙවීම නිසයි.
එම දෙපළ තමන් ගේ පුද්ගලික මතය ප්‍රකාශ කරාට අවුලක් නැහැ. හැබැයි එය කරන්න තිබුනෙත් අවසන් නිල නිවේදනය නිකුත් කරාට පසුව කියන එකයි මගේ මතය. කෙසේ වෙතත් අවසන් තීරණය අරගත්තේ උපදේශකයින් ගේ අවශ්‍යතාව මත නොව විනිශ්චය මණ්ඩලයේ අවසන් තීරණය මතයි කියන එක හැමෝම අවබෝධ කරගන්නවා නම් වටිනවා.''
ඉතිං සහෘද පාඨක පාඨකාවනි…, ස්වර්ණ පුස්තක සම්මාන අවසන් විනිශ්චය පිළිබඳ කිසියම් කුකුසක් තිබුණේ නම් මේ මොහොතේ සිට එය දුරුකරගනු ඇතැයි මා විශ්වාස කරනවා.
මෙවර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන අතරවාරයේ ද ස්වර්ණ පුස්තක සහ රජත පුස්තක විනිශ්චය පිළිබඳව පාඨක ප්‍රජාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සහ ප්‍රශ්න කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ සදහා විනිශ්චය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද සහභාගි වන බව පොත් ප්‍රකාශකයින් ගේ සංගමය දන්වා තිබුණා. කිසියම් පාඨකයකුට, පාඨකාවටක, ලේඛකයකුට, ලේඛිකාවකට මෙන් ම ප්‍රකාශන ආයතනයකට වුව ද එම අවස්ථාවට සහභාගි වී තමන්ගේ අදහස ඉදිරිපත් කළ හැකි බව ද දන්වා සිටින්නැයි ස්වර්ණපුස්තක විනිශ්ච මණ්ඩලයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ සුලෝචන වික්‍රමසිංහ දන්වා සිටියේ ය.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
