මේ ආණ්ඩුව ගොඩනගා ගත්තේ පැරණි ගමන් මග ඒ විදියටම ගලා යෑමට නොව පරිවර්තනයක් වෙනුවෙන් බවත්, මේ වන විට බොහෝ ක්ෂේත්‍ර එම පරිවර්තනයට පය තබා ඇති බවත්, ඇතැම් ක්ෂේත්‍රවල ටිකක් දුර ගොස් තිබෙන අතර ඇතැම් ක්ෂේත්‍ර හඳුනාගෙන බැවින් මේ ආණ්ඩුව එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (20) අකුරැස්සේ පැවති ජන රැලිය අමතමිනි.

එම ජන රැලියේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා…
බලය තිරසාර ලෙස ස්ථීර වන්නේ කෙසේ ද…?
''අපි මේ ආණ්ඩුව හදලා හෙටට වසර දෙකක් ගත වෙනවා. මෙම අවස්ථාවේ ආණ්ඩුවකට තිබිය යුතු විධායක ජනාධිපති ධූරයේ බලය මෙන්ම පාර්ලිමේන්තුවේ බලය අප සතුව තිබෙනවා. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවකට ලැබුණු වැඩිම බලය අපි ළඟ තිබෙනවා. ඒ වගේම නගර සභා සහ ප්‍රදේශීය සභාවල වැඩිම බලය තිබෙන්නේ අපිට. ඒ අනුව ආණ්ඩුකරණය සඳහා වැඩිම බලයක් අප සතුව තිබෙනවා.
හැබැයි, විධායක ජනාධිපති ධුරයේ නම් බලය තිබෙන්නේ 2019දී එවකට ජනාධිපතිවරයාට ධුරය හැර යාමට සිදු වන්නේ නැහැ. එවිටත් පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තිබුණා. පාර්ලිමේන්තුව තුළ පමණක් නම් බලය තිබෙන්නේ 2023 පැනලා යන්න වෙන්නේ නැහැ. ආණ්ඩුකරණය විධායක ජනාධිපති ධූරයේ බලය, පාර්ලිමේන්තු බලය, ප්‍රාදේශීය සභා, නගර සභා බලය තුළ තිබෙනවා. එහෙත් එම බලය තිරසාර ලෙස ස්ථීර වන්නේ කොපමණ ජනතා බලයක් තිබෙනවාද කියන සාධකය මතයි.
මේ ආණ්ඩුව ගොඩනගා ගත්තේ පැරණි ගමන් මග ඒ විදියටම ගලා යාමට නොවෙයි. මෙම ආණ්ඩුව ගොඩනගා ගත්තේ පරිවර්තනයක් වෙනුවෙන්. අපි මේ වන විට බොහෝ ක්ෂේත්‍රවලට පය තබා තිබෙනවා. එයින් ඇතැම් ක්ෂේත්‍රවල ටිකක් දුර ගොස් තිබෙන අතර, ඇතැම් ක්ෂේත්‍ර හඳුනාගෙන තිබෙනවා. මේ ආණ්ඩුව එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරනවා. එහෙත් පැරණි ආණ්ඩුවේ වරප්‍රසාද, වරදාන සහ විවිධ අයිතිවාසිකම් ලැබු කණ්ඩායම් කලබලයට පත් වෙනවා.
පරිවර්තනයක් සිදු කරන විට පැරණි සමාජයේ නෂ්ටාවශේෂ කරන්නේ මොනවා ද…?
අපේ රටේ දේශපාලන වේදිකාවේ දීර්ඝ කාලයක් කථා කළ මාතෘකාව වන්නේ දූෂිතයන්ට දඬුවම් දීමයි. වංචා, දූෂණ අපේ රටේ දේශපාලනයේ එක් අංගයක් බවට පත්ව තිබුණා. එය විසින් රටත්, ජනතාවත් විශාල විපතකට ඇද දැමුවා. ඒ නිසා වංචාවෙන්, දූෂණයෙන් තොර පාලනයක් සහ වංචනිකයින්ට දඬුවම් ලබා දීම අපේ රටේ ජනතාවගේ අභිලාෂයක් බවට පත්ව තිබුණා. එහෙත් ඒක කරන්න යද්දි වංචාවට, දූෂණය ඇබ්බැහි වූ කණ්ඩායම් ඊට විරුද්ධ වෙනවා. මීට පෙර හැමදාම තිබුණේ දූෂිතයින්ට දඬුවම් දීම පිළිබඳ කතන්දරයක් විතරයි. දැන් කතන්දරයට පණ ලැබෙනවා. එවිට කියනවා නයි, මුගටි, පොළොන්ගු එකතු වෙන්න ඕන කියලා. පරිවර්තනය සිදු වෙද්දි පැරණි සමාජයේ විනාශකාරීත්වයට දායක වූ අය එකට එකතු වෙනවා. මොකද ඔවුන් දන්නවා මේ පරිවර්තනය ඔවුන්ට විශාල හානියක් ගෙන දෙන බව.
ඒ වගේම මත්ද්‍රව්‍ය සහ ඒ සමග ගොඩනැගුණු පාතාලය විනාශ කළ යුතුයි. ජාතික ජන බලවේගය ආණ්ඩුව ඒක කරනවා. අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට මත්ද්‍රව්‍ය ව්‍යාපාරවලින් පෝෂණය වූ සන්නද්ධ කණ්ඩායම් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට යොදාගත් පිරිස් කලබල වෙනවා. එවිට ඔවුන් අපේ පාලනයට එරෙහිව එකට එකතු වීමට උත්සාහ කරනවා.
ඒ වගේම දේශපාලන සංස්කෘතියේ ඇති කරන වෙනස්කම් ඔවුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. ඇතැම් අය ආරක්ෂාව ඉවත් කරන විට අධිකරණයට ගිහින් නඩු දානවා. විශ්‍රාම වැඩුප අහෝසි කිරීමට තීරණය කරන විට ඇතැම් මන්ත්‍රීවරු කිව්වා අහෝසි කළොත් මරාගෙන මැරෙනවා කියලා. තර්ජනය කරනවා. නව පරිවර්තනයක් සිදු කරන විට පැරණි සමාජයේ නෂ්ටාවශේෂ ඊට තර්ජනයක් ඇති කරනවා.
මෙතෙක් නීතියට යටත් නොවුණ අය කලබලයට පත් වෙලා
අපේ රටේ සෑම කෙනෙක් ම අධිකරණය කෙරෙහි අචල විශ්වාසයකින් කටයුතු කරනවා. හැබැයි අධිකරණය කෙරෙහි අප තුළ තිබෙන විශ්වාසය තවදුරටත් ශක්තිමත් වන්නේ අපරාධවලට නිසි කාලය තුළ දඬුවම් ලබා දීමෙන්. අපේ රටේ ඇතැම් නඩු තිබෙනවා 2017 නඩුව දානවා, හැබැයි 2026 වන තෙක් එක සාක්ෂියක්වත් විමසන්නේ නැහැ. එසේ නම් අපි මෙය පරිවර්තනයකට ලක් කළ යුතුයි. එහිදී ඒ නඩු තිබෙන අය කලබල වෙනවා. පැරණි සමාජයේදී ඔවුන් සිතුවේ ඔවුන් නීතියට වඩා ඉහළින් ඉන්නවා කියලා. ගහක වැටුණු පොල්ගෙඩි 08ක් ඇහින්දොත් ඔහුට සිර දඬුවම් ලැබෙනවා. හැබැයි එයාර් ලංකා වගේ වංචාවන් සිදු කළ විට ආරක්ෂාව ලැබෙනවා කියලා ඔවුන් සිතුවා. ඒ අනුව පැරණි සමාජයේ ආකල්පයක් තිබුණා නීතියට යටත් වන්නේ සාමාන්‍ය ජනතාව පමණයි කියලා. හැබැයි ලංකාවේ පළමු වතාවට හිටපු ජනාධිපතිවරයෙක් අධිකරණයට ගෙනැවිත් රිමාන්ඩ් භාරයට පත් කර තිබුණා. දැන් කිසිවෙක් නීතියට උඩින් නැහැ. සියලුදෙනා නීතිය ඉදිරියේ සමානයි කියන පරිවර්තනය අපි ඇති කරලා තිබෙනවා. මෙහි දී නීතියට යටත් නොවුණ අය කලබලයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම නීතිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අණ පනත් සම්මත කරන විට විරෝධය දක්වනවා.
මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගුවේ ජනතාව දැනුවත් කරමින්
ආණ්ඩුවක් ලබා ගත් බලය එලෙසම පවත්වාගෙන යනවා නම් විරෝධතා නැහැ. නමුත් ලබා ගත් බලය සමාජ පරිවර්තනය සඳහා යොදවන විට කලබල වෙනවා. මේ පැරණි සමාජය අපේ රට ව්‍යසනයට පත් කළ තත්ත්වයක්. ජනතාව අපිට බලය ලබා දුන්නේ එය වෙනස් කිරීමටයි. එය සිදු කරන විට පැරණි සමාජයේ වරදාන, වරප්‍රසාද භුකිති විඳපු කණ්ඩායම් පරිවර්තනයට විරුද්ධව කෑ ගහන්න පටන් ගන්නවා. එය කොච්චර ද කියනවා නම් එකිනෙකාට එරෙහිව අවි අමෝරාගත් අය එකට එක් වෙලා තිබෙනවා. එහි රහස අන් කවරක්වත් නොවෙයි, මේ පරිවර්තනය ඔවුන්ට ඔරොත්තු නොදීමයි.
එසේ නම් අපි රට තුළ මේ පරිවර්තනය සිදු කළ යුතුයි. ලෝකයේ සෑම විටම මෙම පරිවර්තන අත් කරගෙන තිබෙන්නේ ජනතා බලය සමගයි. මේ ප්‍රතිවිරෝධතාවලට මුහුණ දීමට නම් අපි ශක්තිමත් ජනතා බලයක් ගොඩනැගිය යුතුයි. මේ ජාතික ජන බලවේගය හුදු මතවාදයකින් පමණක් ජයග්‍රහණය කළ එකක් නොවෙයි. මේ ව්‍යාපාරය ගොඩනැගුණේ මාධ්‍ය බලය, පවුල් බලය හෝ මූල්‍ය බලය විසින් නොවෙයි. අපි මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගුවේ ජනතාව දැනුවත් කරමින් සහ ඔවුන් ඒකරාශි කර ගනිමින්. අපි මේ ජනතා ව්‍යාපාරය ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ආණ්ඩුකරණය වගේම දේශපාලනය ද වැදගත් වෙනවා. අද ඉහළ සිට පහළට ගම දක්වා පැතිරුණු ශක්තිමත්ම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයයයි. එය දිගු කාලයක් මේ රටේ බලය ආරක්ෂා කරන ව්‍යාපාරය යි.
ජනතාව විසින් තෝරා පත් කර ගත් නායකයා ජනතාවගේ අවශ්‍යතා ඉටු කළ යුතුයි
බොහෝ විට සිදු වුණේ ආණ්ඩු බලය ගත් විට ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටු වීමයි. ඇමතිවරයා අමාත්‍යාංශයට කොටු වීමයි. ආණ්ඩුව සහ ජනතාව අතර අන්තර් සබඳතාවක් තිබුණේ නැහැ. අපි මේ දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුයි. පාලකයාව ජනතාව ප්‍රශ්න කළ යුතුයි. පාලකයා සහ ජනතාව අතර යහපත් සබඳතාව අපි ගොඩනැගිය යුතුයි. පාලකයා ජනතාවට වගවිය යුතුයි. ලෝකයේ රටවල් ඉදිරියට ගියේ එහෙමයි. ජනතාව විසින් තෝරා පත් කර ගත් නායකයා ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නේ නැත්නම්, ඉටු නොකිරීම පිළිබඳ සාධාරණ හේතුවකුත් නැත්නම් ජනතාව විසින් පාලකයා ප්‍රශ්න කළ යුතුයි. එවැනි අලුත් යුගයක් අපි නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය ගම් පුරා විසිරුණු ශක්තිමත්ව සංවිධාන ජාලය හිමි දේශපාලන ව්‍යාපාරය බවට පත් කළයුතුයි.
ඒ වගේම ඒ හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තහවුරු කළ යුතුයි. බනින්න, ලියන්න, කථා කරන්න නිදහස් දෙන්න ඕන. අපි ප්‍රජාත්න්ත්‍රවාදය නිසි ලෙස ස්ථාපිත කළ යුතුයි. මාධ්‍යයට ලියන්න තිබෙන අයිතිය, පුවත්පත්වල පළ කිරීමට තිබෙන අයිතිය, රූපවාහිනියට කියන්න තිබෙන අයිතිය ඕන තරම් තිබෙනවා. හැබැයි මාධ්‍ය ආයතන සීමාවන් තේරුම්ගත යුතුයි. සීමාවන් තේරුම් ගන්නේ නැත්නම් එය ඔවුන්ගේ ප්‍රශ්නයක්. අපි නිදහස ලබා දිය යුතුයි. රටක් ඉදිරියට යන්නේ එහෙමයි.
රට නව ආභාෂයක් සහ නව පරිවර්තනයක් සමග ඉදිරියට
එක් යුගයක මාධ්‍ය ආයතනවලට බෝම්බ ගැහුවා. මාධ්‍යවේදීන් ඝාතනය කළා. මාධ්‍යවේදීන්ගේ අත පය කැඩුවා, රටේ සුදු වෑන් සංස්කෘතියක් හැදුවා. රට ඉදිරියට ගියේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය හකුළා රටක් ඉදිරියට යන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් හෙබි රටක් සහ සමාජයක් තමයි ඉදිරියට යන්නේ. අපේ මේ වසර දෙක කිසිදු කඳුළු ගෑස් ප්‍රහාරයක්, ජල ප්‍රහාරයක් එල්ල නොකළ වසර දෙකයි. එම ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ලබා දිය යුතුයි. අදහස් ඉදිරිපත් කිරීමට අයිතිය තිබිය යතුයි. ඇහුම්කන් දෙන්න ඕන, භාරගන්න දේ භාරගන්න ඕන, ප්‍රතික්ෂේප කරන දේ ප්‍රතික්ෂේප කරන්න ඕන. සියල්ල දන්නේ තමන් කියලා හිතුවොත් රටක් ඉදිරියට යන්නේ නැහැ. රටක් ඉදිරියට යාමට නම් තමන් දන්න දේ වගේම නොදන්නා දේ ගැනත් නායකයින්ට අවබෝධයක් තිබිය යුතුයි. නොදන්නා දේ උරා ගැනීමට සමත් විය යුතුයි. රටක් ඉදිරියට යන්නේ එවැනි පාලනයක් තුළින් පමණයි. ඒ නිසා මේ වසර දෙකක් ගත වන අවස්ථාවේ අපේ රට නව ආභාෂයක් සහ නව පරිවර්තනයක් සමග ඉදිරියට යාමට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය, ජන ජිවිතය, ආහාර පාන, ආර්ථික අවස්ථා අපි හදන්න ඕන. අපි එළැඹෙන අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපි භාණ්ඩාගාරය පුරවලා තිබෙනවා. ලබන වසරේ ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1750ක් සහ දිට්වා ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 250ක් සමග බිලියන 2000ක් වෙන් කර තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදමක් දරන වසර බවට ලබන වසර පත් වෙනවා.
ඒ වගේම මුල්ගල් ගොඩක් තියපු මේ අකුරැස්ස බස් නැවතුම්පොළ හදන්නත් අපි ලබන වසරේ මුදල් වෙන් කර දෙනවා. ගමට මුදල් ගලා යා යුතුයි. අපි ගොඩනගාගත් ආර්ථික ප්‍රතිලාභ ගමට ලබා දිය හැකි ක්‍රම කිහිපයක් තිබෙනවා. ගමේ යටිතල පහසුකම් සංවර්ධනය වන විට ගමට මුදල් ගලාගෙන එනවා. ඒ වගේම අසීරුතා තිබෙන අයට සහනාධාර මගින් එම ප්‍රතිලාභය ලබා දිය යුතුයි. අස්වැසුම ලබා දීම, වකුගඩු රෝගීන්ට, අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන් වෙනුවෙන් අපි මේ වන විට එම ප්‍රතිලාභ ලබා දෙනවා. ජනතාව හැමදාම සහනාධාර මත යැපෙන එක හොඳ නැහැ. හැබැයි හැමදාමත් සහනාධාරවලින් බලාගත යුතු සමාජ කණ්ඩායමක් ඉතිරි වෙනවා. ආර්ථිකය විශාල ලෙස දියුණු වූ රටවල්වල පවා සහනාධාරවලින් යැපෙන කණ්ඩායමක් ඉන්නවා. ආදායම් මාර්ගයක් නැති, ආදායම් උපයා ගැනීම සඳහා ශරීර ශක්තිය නැති, ආදායම් උපැයූ කෙනා හදිසියේ අනතුරකට පත් වුණා නම් සහනාධාරයක් ලබා දෙන්න ඕන. රටක් කියන්නේ එහෙමයි. අපි ජනතාව බලා ගත යුතුයි.
නිල්වලා විද්‍යා පීඨයේ ගුරුවරුන්ට වැඩි දීමනාවක්
දෙමාපියන් අහිමිව, භාරකරුවන් නැතිව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින සෑම දරුවෙකුට ම අපි මේ ජනවාරි මාසයේ සිට ගිණුමකට රුපියල් 5,000 බැගින් යොමු කරනවා. එම දරුවන් අවුරුදු 18දී එළියට යන්න තිබුණා. එහෙත් අවුරුදු 21 දක්වා ඔවුන් බලා ගැනීමට අපි තීරණය කළා. අවුරුදු 21 දක්වා රුපියල් පන්දහසක් ලබා දීම වගේම ඔවුන් එළියට යන විට නිවසක් හදා ගන්න දැනට රුපියල් ලක්ෂ 20ක දීමනාවක් ලබා දෙනවා. රටේ බලාගත යුතු සමාජය කණ්ඩායමක් සිටිනවා. අපි ඔවුන්ව බලාගත යුතුයි. ඒක ආණ්ඩුවක වගකීමක්. ඇතැම් අය කියනවා සහනධාර එපා කියලා. බලාගත යුතු සමාජ කණ්ඩායමක් ඉන්නවා. ඒ සමාජ කණ්ඩායම අපි බලාගන්න ඕන. ඒ නිසා තමයි අපි වකුගඩු ආධාරය වැඩි කළේ. ඒ වගේම මහපොළ ශිෂ්‍යාධාර වැඩි කළා. මම මේ මෑතකදී නිල්වලා විද්‍යා පීඨයේ ගුරුවරුන් පිරිසක් හමු වුණා. ඔවුන්ට ඉතාමත් අඩු දීමනාවක් ලබා දෙන්නේ. ඊළග අයවැයේදී ඔවුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට මම තීරණය කර තිබෙනවා. ඒ නිසා රටේ ආර්ථිකය හදන විට බලාගත යුතු සමාජ කණ්ඩායම බලාගත යුතුයි.
මැදපෙරදිග තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියා. අපි ලෝක වෙළෙඳපොළේ ගානට තෙල් මිල ඉහළ දැම්මේ නැහැ. සෑම ඩීසල් ලීටරයකටම ආණ්ඩුව රුපියල් 100 ගානේ වැය බරක් දැරුවා. ඒ සඳහා කෝට් 6,000ක් වැය කළා. දැන් නැවත ලෝක වෙළෙඳපොළ මිල අනුව නම් ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩිකළ යුතුව තිබෙනවා. එහෙත් සහනාධාරයක් ලබා දී එය පාලනය කිරීමට අපි අපේක්ෂා කරනවා. ආර්ථික පීඩනයේ බර මුළුමනින්ම ජනතාව පිට දමන්න බැහැ. ආණ්ඩුව ඊට යම් මැදිහත්වීමක් සිදු කළ යුතුයි.
දරුවන් වෙනුනේ හොඳ ම අධ්‍යාපන ක්‍රමයක්
විදුලිබලට යම් සහනාධාරයක් ලබා දෙනවා. විදුලිබිල වැඩිකළ යුතු අවස්ථාවල අපි ඒ මිල වැඩි කළේ නැහැ. ඒ වැය බර ආණ්ඩුව දැරුවා. අපි ඒ වෙනුවෙන් කෝටි 1500ක් වැය කළා. විශේෂ තත්ත්වයක් ආවොත් ජනතාවට දරා ගන්න බැහැ. ආණ්ඩුව ඒ සඳහා සහනාධාරයක් ලබා දිය යුතුයි. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තා. ඒ අනුව භාණ්ඩාගාරයේ ධනය සහනාධාර ලෙසත්, හදිසි අවස්ථාවල ජනතාව බලා ගැනීම මගිනුත් ජනතාව වෙත ලැබීමට සැලැස්විය යුතු යි. අපි නව ආර්ථික අවස්ථා ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රජාශක්ති ව්‍යාපාරය මගින් දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපි රැකියා අවස්ථා ඇති කළ යුතුයි. වසර ගණනාවක් රාජ්‍ය සේවයට බදවා ගත්තේ නැහැ. එහෙත් අපි විධිමත් අයුරින් අවශ්‍යතා මත එක් ලක්ෂ විසි දහසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම විවිධ දුෂ්කරතා මැද සේවයේ නිරත වන පොලිස් නිලධාරින්ගේ දීමනාව වැඩි කිරීමටද අපි ලබන අයවැයේදී අවධානය යොමු කර තිබෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය නව තාක්ෂණය සමග ඉදිරියට ගෙන යනවා. මේ තුළින් රටේ ආර්ථිකය අත්කරගත් ප්‍රතිලාභ ජනතාව වෙත ගලා එනවා. අද එය ක්‍රියාත්මක වනවා. ඒ වගේම සේවාවන් හරහා ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ සැලසුම් අපි මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. එහිදී ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් හදනවා. නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ජනතාවට සමීප කරමින් ආරෝග්‍යා සෞඛ්‍ය ක්‍රමය අපි ක්‍රියාත්මක කරනවා. මේ අයුරින් නිදහස් සෞඛ්‍ය සේවාව ජනතාවට වඩා සමීප කිරීම, ලොව දියුණු තාක්ෂණ ක්‍රම සහ උපකරණ ලබා දීම ඇතුළු කරුණු 03ක් ඔස්සේ අපි සෞඛ්‍ය සේවාවේ නව පරිවර්තනයක් ඇති කරනවා. ඒ වගේම අධ්‍යාපනයේ නව පරිවර්තනයක් සිදු කරනවා. අපේ දරුවන් වෙනුනේ අපි හොඳම අධ්‍යාපන ක්‍රමයක් හදනවා.
මේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක් යන විශ්වාසය තහවුරු වී අවසන්
අපි මේ රට හදන්න ඕන. වංචා දූෂණවල ප්‍රතිවිපාකවලට අපි රටක් ලෙස මුහුණ දුන්නා. බෙහෙත් නැතිව ජනතාව මිය ගියා. ඉන්ධන, ගෑස් පෝලිම්වල ජනතාව මිය ගියා. දරුවන් පාසල් යවා ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. වෘත්තීයවේදීන් රට දාලා ගියා. වංචාව, දූෂණය, අල්ලස මේ රට ව්‍යසනයට ඇද දැමුවා. දරාගත නොහැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කළා. සෑම අතින්ම රට විශාලා මහනුවරක් බවට පත් කළා. අපි මේ වන විට රට එම තත්වයෙන් මුදාගෙන තිබෙනවා. පසුගිය මැතිවරණයේදී අපිට කණ්ඩායම් 03ක් සිටියා. අපිව සියයට සීයක් විශ්වාස කරපු අය හිටියා. අද ඔවුන් එදාට වැඩියෙන් අපිව විශ්වාස කරනවා. ඒ වගේම සැකයෙන් ඡන්දය දුන්නා නම් දැන් ඔවුන්ගේ සැකය දුරු වෙලා මේ ආණ්ඩුව වැඩ කරන ආණ්ඩුවක් යන විශ්වාසය තහවුරු වී තිබෙනවා. ඒ වගේම අපි ගැන අවිශ්වාසයෙන් සිටි අයගෙන් බහුතර ප්‍රමාණයක් මේ වන විට මේ ආණ්ඩුව අනුමත කරමින් ඉදිරියට යමින් තිබෙනවා. මීට පෙර සිදු වුණේ ආණ්ඩුවක් හදනකොට ජනප්‍රියයි, ආණ්ඩුව කරන විට වැටෙනවා. එහෙත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුව හදනොකට තිබුණු ජනප්‍රියතාවට වඩා වැඩි කැමැත්තක් ආණ්ඩුකරණයේදී දිනාගත් ආණ්ඩුව මෙයයි.
පසුගිය මැතිවරණයේදී මාලිමාවට ඡන්දය ලබා දුන් සියලු දෙනාට අදත් එළියට බැහැලා කියන්න පුළුවන් අපි ඡන්දය දුන්නේ මාලිමාවට කියලා. අපිව විශ්වාස කර ඡන්දය ලබා දුන් සෑම ඡන්ද දායකයෙකුගේ ම ගෞරවය ආරක්ෂා කරන ආණ්ඩුවක් මේක. කිසිවෙකුට ඔබට විවේචනයක් එල්ල කළ නොහැකි තරමට, ඔබට පාරට බැහැලා ඔව් මම මාලිමාවට ඡන්දය දුන්නේ කියලා කොන්ද කෙළින් තබාගෙන කථා කරන්න පුළුවන් ආණ්ඩුවක් පසුගිය වසර දෙක තුළ අපි නිර්මාණය කර තිබෙනවා. මේ ආණ්ඩුව තමයි මේ රටට සුබවාදී අනාගතය නිර්මාණය කරන්නේ. ඒ වෙනුවෙන් අපි සියලුදෙනා විශ්වාසයෙන් ඉදිරියට යමු කියා මම ආරාධනා කරනවා.''
අකුරැස්ස රැලිය - 2026.09.20
මෙම රැලියේ දී අදහස් දැක්වූ ළමා හා කාන්තා කටයුතු ඇමති සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

ඔබ හැමදෙනා ම දුක් විඳ උපයන ධනයෙන් පවුල් කිහිපයක් සැප වින්ද ඉතිහාසය අවසන්
''කාල ගුණයේ දැඩි බලපෑම් නොතකා මේ රැලියට පැමිණ සිටින ජන ගඟ දකින විට බොහෝ දේ මතක් වෙනවා. ආණ්ඩු බලය මාධ්‍ය බලය ඇතුළු කිසිදු බලයක් නොතිබූ කාලයක අකුරැස්ස ආසන සමුළුව පැවැත්වීමේදීද මේ ආකාරයටම ජන ගඟ පිරී ඉතිරී ගියා. ඒ හා සමානවම කාන්තා සමුළුවක් මැතිවරණවලට පෙර පැවැත් වූවා. සැප්තැම්බර් 21 දා පැවති ජනාධිපතිවරණයෙන් අපේ ආදරණීය අනුර සහෝදරයා ජයග්‍රහණය කර වසර දෙකක් පිරෙන මේ මොහොතේ එදාටත් වඩා ජනතා විශ්වාසයක් තිබීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. අපිට කර ගන්න සිදු වුණේ බලශක්ති අර්බුදය, ණය ගෙවා ගන්නවත් නොහැකි ආර්ථික අර්බුදයක්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඔරොත්තු නොදෙන මට්ටමක තිබණු තත්වයක්, වගේම ආනයන සීමා වගේම පුරවැසියන් හිරකර තිබූ පසුබිමක. බලවතුන්ගේ නඩු ෆයිල් වසා පැත්තකට දමා තිබූ, පාතාලය සහ කුඩු රජකරමින් ලෝකයේ බලවත් අපරාධ රාජ්‍යයක් බවට පත්කරමින් තිබුණේ. ජීවත් වීමට නොහැකි තරුණ තරුණියන් රට අත්හැර යමින් තිබූ අවස්ථාවක රට බාර ගත්තේ.
අපේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමිය ඇතුළු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් සියලු දෙනාගේම වරප්‍රසාද කප්පාදු කළා. වරප්‍රසාද ලාභී දේශපාලනය අවසන් කර, මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඇතුළු අනිසි වරප්‍රසාද අපේ ඡන්දයෙන් ඉවත් කළා. ජනතා මුදලින් මන්ත්‍රීවරුන්ට ලබා දී තිබුණු ලක්ෂ 10ක රක්ෂණ ආවරණය ලක්ෂ දෙකහමාර දක්වා අඩු කළා. ඉතිරි කළ සල්ලිවලින් රාජ්‍ය අංශයේ ලක්ෂ 14ක් සේවකයන්ට ගෙවී ගිය අවුරුදු දෙක තුළ අදියර දෙකකින් මූලික වැටුප වැඩි කළා. ලබන ජනවාරිවල තුන්වැනි වර්ධකයත් ලබා දෙනවා. රුපියල් 5000/-ක් වූ මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 10000/- දක්වා වැඩි කළා. ඒ වගේම අස්වැසුම, ගොවි සහනාධාර, ධීවර සහනාධාර, වැඩිකර ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටි දරුවන්ට හැම මාසයකම රුපියල් 5000/- බැගින් බැංකු ගිණුම්වලට දැම්මා. අවුරුදු 18 සම්පූර්ණ වී සමාජ ගත වන ඒ දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සංචිත මුදලක් බැංකු ගිණුමේ ගොඩනැගී තිබෙනවා. ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටි දරුවන් වයස අවුරුදු 18 සම්පූර්ණ වී සමාජ ගත වීමේදී නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතියක් පසුගිය 17 වැනි දින ආරම්භ කළා. එක් අයෙකුට ලක්ෂ 20 බැගින් ලබා දෙනවා. සාමනේර භික්ෂූන් වහන්සේලාගේ පවුල්වලට රුපියල් ලක්ෂ 15 බැගින් නිවාස ආධාර ලබාදීමත් ආරම්භ කළා. ඒ වගේම අඩු ආදායම් ලාභීන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දෙනවා.
ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ මහපොළොවේ ජනතාවට
ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කරන්න සුවිශාල ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ දෙනියායට අංග සම්පූර්ණ නව රෝහලක් වෙනත් තැනක ඉදිකරනවා. අකුරැස්ස අවට තිබෙන රෝහල් දියුණු කරනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සුහුරු පන්ති කාමර ලබාදීම, ඇතුළු ක්‍රියාමාර්ග රැසක් මගින් පරිවර්තනීය දිශාවකට ගෙන යනවා. මෙට්ට්‍රෝ බස් හඳුන්වා දී, ලෝකයේ පවතින උපරිම පහසුකම් සහිත මගී බස් රථ ලබා දෙමින් තිබෙනවා. අධ්‍යාපනය, ප්‍රවාහනය, සෞඛ්‍යය, නිවාස කියන මූලික ප්‍රශ්න පොදුවේ විසඳන විට අපි එකිනෙකා පෞද්ගලිකව ඒ වෙනුවෙන් දරන වියදම අඩු වෙනවා. ඔබ හැමදෙනාම දුක් විඳ උපයන ධනයෙන් පවුල් කිහිපයක් සැප වින්ද ඉතිහාසය අවසන් කිරීමේ ක්‍රියාවලියක අපි යෙදී සිටිනවා. මෙපමණ කල් බදු ගෙවූ ජනතාව රජයට ලබා දුන් ආදායම්වලින් රටේ සමස්ත ජනතාවම ප්‍රතිලාභ බුක්ති විඳිනවා. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ මහපොළොවේ ජනතාවට ලබා දෙන ව්‍යුහයන් අපි ගොඩනඟනවා. ගෙවී ගිය අවුරුදු දෙක තුළ ජනතා ආණ්ඩුව ක්‍රියාකර තිබෙන්නේ ඒ ආකාරයට. ගෙවී ගිය කාලය තුළ මාධ්‍ය මගින් ආණ්ඩුවට එරෙහිව ගෙන ගිය බොරු ප්‍රචාරවලට ඉඩ නොදී, ඇත්ත කියන්න අපි ඔබ ඉදිරියට ආවා. අපි හදාගත යුතු අඩුපාඩුකම් තිබෙනවා නම්, හදා ගන්න නිහතමානීව සූදානම්. අපි හදපු ජනතා ආණ්ඩුවේ අවුරුදු දෙකක් පිරීම සිදුවන මොහොතේ ඔබට අපේ වගකීම වෙනුවෙන් මේ ආකාරයට දිගටම අපි ඔබ සමග රැඳී සිටිනවා.''
මෙම රැලියේ දී අදහස් දැක්වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම

වාරිමාර්ග වෙනුවෙන් මේ දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 2240ක මුදලක්
''කාලාන්තරයක් පැවති දුර්දාන්ත පාලනය පෙරලා දැමිය නොහැකි බවට මතයක් තිබුණු කාලයක, අපිට සියයට තුනක ඡන්ද පදනමක් තිබුණු කාලයක සිට අපේ පාලනයක් පිහිටුවීම දක්වා ඔබ සියලු දෙනා අධිෂ්ඨානයෙන් ක්‍රියා කළා. මේ දක්වා තිබුණේ කුරුඳු වත්ත, මැදමුලන ඇතුළු පවුල් කිහිපයක ආණ්ඩු. ඔවුන්ගේ දුර්දාන්ත පාලනයන්ට විරුද්ධව කවුරුන් හෝ නැගී සිටියා නම් මරණ සහතිකය ලියා ගැනීමේ තත්වයක් තිබුණේ. දැන් අපි පොදු ජනතාවගේ ආණ්ඩුවක් පිහිටුවාගෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ලබා දුන් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීමේ ක්‍රියාවලිය දියත් කර තිබෙනවා. මෙතෙක් පැවැති පවුල් පාලනයන් පොදු ජනතාවට ඉටුනොකළ බොහෝ දේ ගෙවී ගිය අවුරුදු දෙක තුළ අපි සිදුකර තිබෙනවා. ඒ සියල්ල කළේ ඉන්දියාවේ යාචකයන් පවා අපට ආධාර ලබාදෙන මට්ටමට බංකොලොත් කර තිබූ රටක් ගොඩනඟමින්. ජනතාවට උඩින් යන සොහොන් කොත් වගේ දේශපාලකයන් මින් ඉදිරියට නැහැ. ජනාධිපතිතුමාගේ සිට පළාත් පාලන ආයතනවල නියෝජිතයන් දක්වා මූල්‍ය අපරාධ සිදු නොකරන පාලනයක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම කාලයක් තිස්සේ මාතර දිස්ත්‍රික්කයේ ජනතාව පීඩාවට පත් කළ නිල්වලා ගඟ පිටාර ගැලීමේ උවදුරෙන් මුදා ගන්න ක්‍රියාකරමින් සිටිනවා. පසුගිය කාලයේ වගා හානිවලට ලක්වූ ගොවීන් සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 1200/-ක් වැය කර තිබෙනවා.
නීති පද්ධතිය වෙනස් කරමින් නඩු විසඳීමේ කාලය වේගවත් කර තිබෙනවා
නිල්වලා මිටියාවතේ අපි අවස්ථා දෙකකදී වරද්දාගෙන තිබෙනවා. එක්දහස් නවසිය අසූගණන්වල ආරම්භ කළ ජල ගැලීම නැවැත්වීමේ ව්‍යාපෘතිය අතර මග අත්හැර දැමුවා. ඉන්පසුව විද්‍යාත්මක නොවන ලවන බාධකයක් ඉදිකර බොහෝ කුඹුරු ඉඩම් විනාශ වුණා. ඒ වගේම මේ වසරේ රුපියල් මිලියන 2240ක මුදලක් මේ දිස්ත්‍රික්කයේ වාරිමාර්ග වෙනුවෙන් යොදවා තිබෙනවා. ඉතිහාසයේ කිසිම දිනෙක වාරිමාර්ග වෙනුවෙන් මේ දිස්ත්‍රික්කයට මේ තරම් මුදලක් යොදවා නැහැ. ආණ්ඩුව ගන්නා අවස්ථාව වන විට කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රවල බරපතළ කඩා වැටීමක් තිබුණේ. අපේ රටේ තිබුණු කර්මාන්ත පද්ධතිය කඩා වැටීමට සලස්වා එම නිෂ්පාදන පිටරටින් ආනයනය කර, පාලකයන්ගේ සාක්කු පුරවා ගත්තා. කෘෂිකර්මාන්තය බිඳ දමා අපි ආණ්ඩුව ගන්න අවස්ථාවේ රතු හාල් තිබුණෙත් නැහැ. අනික් හාල් රුපියල් 240/- - 250/- වගේ ඉහළ මිලකට තිබුණේ. ඒ විතරක් නොවෙයි, නැවත මේ රටේ සහල් අර්බුදයක් ඇති නොවෙන්න ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් හැටියට අද සහල් කිලෝව රුපියල් 160/- - 165/- අතර මිලකට ලබා දෙනවා. අනෙකුත් බෝගත් ගොවියාට සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලබා දෙමින් තිබෙනවා. කුඹුරු පනත ඇතුළු පොදු ජනතාවට බලපාන නීති මෙයට අවුරුදු 50කට 60කට ඉස්සර හදපු ඒවා. ඒ නීති තිබුණේ ජනතාව ආරක්ෂා කරන්න නොවෙයි, දූෂිත පාලකයන් ආරක්ෂා කරන්න. ක්‍රමානුකූලව අපි නීති පද්ධතිය වෙනස් කරමින් නඩු විසඳීමේ කාලය වේගවත් කර තිබෙනවා. අපි කාටත් එකම නීතිය ක්‍රියාත්මක කරන රටක් ගොඩනගන්න විශාල පිරිසක් අපට බලය ලබා දී තිබෙනවා. අපි පොරොන්දු වූ රටේ වෙනස ඉදිරි කාලය තුළ සම්පූර්ණ කරන බව සහතික වශයෙන්ම ප්‍රකාශ කරනවා.''
මෙම රැලිය ඇමතූ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති

තනි පක්ෂයක් ලෙස ඉතිහාසයේ දැවැන්තම බලයක් තිබෙන ආණ්ඩුව අපි
''මේ වගේම අනෝරා වැසි වැටුණු 2024 සැප්තැම්බර් 16 වැනි දින අපි ඔබව මෙතනදී හමුවුණා. අකුරැස්ස ආසනයේ ජනතාව හැටියට එදා අපි එක පොරොන්දුවක් ලබා දුන්නා. පැවති හවුල්, පවුල් පාලනය අතුගා දමා ජනතාවට ලස්සන ජීවිතයක් ගොඩනගන ජනාධිපතිවරයෙක් අපි පත්කර ගන්නා බව කීවා. අපේ ජනාධිපති සහෝදරයාත් එක්ක මේ අවුරුදු දෙකේ සැමරුම කරන්න අකුරැස්සේ දී ලැබීම ගැන අපට නිහතමානී සතුටක් තිබෙනවා. අපි ඔබට දුන් ප්‍රතිපත්තිමය පොරොන්දුවට ඔබ අපට ජන වරමක් ලබා දුන්නා. අපි ඒ කාලයේ නීතියේ ආධිපත්‍යය පිහිටුවන බව කීවත් හුඟක් දෙනෙකුට තේරුනේ නැහැ. ඇමතිවරු සහ ඇමති පුතුන් ඇතුළු පවුල්වල සාමාජිකයන් වගේම මන්ත්‍රීවරු පොලීසියේ OIC මහත්තයාගේ පුටුවේ වාඩිවී ක්‍රියා කළ යුගයක් තිබුණේ. මාධ්‍යවේදී අතුරුදහන් කිරීම වගේම මහ මඟ මරා දමන යුගයක් තිබුණේ. නීතියට උඩින් සිටි ඔවුන් නීතියට යටත් කරන දේශපාලනයක් ගොඩනඟන බවට අපි පොරොන්දු වුණා. ජනතාවට පොරොන්දුවූ පරිදිම නීතියේ ආධිපත්‍යය තහවුරු කළ ජයග්‍රාහී වසර දෙකක් අපි සමරන්නේ. මේ රටේ ජනතාවට වග කියන මහජන නියෝජිතයන්ගෙන් යුක්ත දේශපාලන සංස්කෘතියක් ගොඩනඟන බවට දුන් පොරොන්දුව ඉටුකර වේදිකාවේ ඉදිරියේ ඉන්න ඔබ වගේම වේදිකාවේ ඉන්න අනුර දිසානායක සහෝදරයා ඇතුළු සියලු දෙනාත් සමානයන් වී සිටිනවා. මාතර සිටි ලක්ෂමන් යාපා වැනි ඇමතිවරු මළ ගෙදරකට එන විට මිනී පෙට්ටිය වාහනය ළඟට ගෙන යන තත්වයක් තිබුණේ. ආරක්ෂකයන් පිරවරාගෙන වාහන පිරිවරාගෙන ආවේ. ඉතිහාසයේ තනි පක්ෂයක් හැටියට දැවැන්තම බලයක් තිබෙන ආණ්ඩුවක් අපි. අපට හිමි වරප්‍රසාද පමණක් නොවෙයි, අතීතයේ හිටි අය ලබාගත් විශ්‍රාම වැටුප් ඇතුළු අනිසි වරප්‍රසාද ඉවත් කිරීමේ නීති පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තා. අනාගතයේදීත් මැති ඇමතිවරුන්ට විශ්‍රාම වැටුප් නැති බව ස්ථිරයි.
තමන්ට පුද්ගලික වරප්‍රසාද බුක්ති විඳින්නේ නැති ඇමති මණ්ඩලයක්
මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාහන පර්මිට් එක විකුණලා ඒ සල්ලිවලින් වෙන වාහනයක් අරගෙන සල්ලි ඉතිරි කර ගත් යුගයක් තිබුණා. දැන් ඒක අහෝසි කර ඇමති නිල නිවාස අහෝසි කළා. ඒ නිල නිවාස අධිකරණවලට, සංචාරක කර්මාන්තයට, තානාපති කාර්යාලවලට ලබා දෙන්න කැබිනට් මණ්ඩල අනුමැතිය දුන්නා. ඔබ අපි කවුරුත් සමබිමක පිහිටවන රජයක්. ඉස්සර ජනාධිපති, ජනාධිපති මන්දිරයේ ඉන්න අතර, අගමැති නිල නිවාසයත් අල්ලාගෙන හිටියා. තමන්ට හිමි සියලු වරප්‍රසාද තමන්ම අහිමි කර ගත් ජනාධිපති අපේ අනුර කුමාර දිසානායක සහෝදරයා පමණක් බව මම අවධාරණය කරනවා. වෙලාවට වැඩ කරන, හැම දෙයක්ම සොයලා බලන, නිදහසේ පුද්ගලිකව ගත කරන්න තිබෙන වෙලාව පවා පක්ෂ කාර්යාලය තුළදී මැදියම් රැය වෙනකම් වැඩ කරන එකම ජනාධිපති අපේ අනුර සහෝදරයා. තමන්ට පුද්ගලික වරප්‍රසාද බුක්ති විඳින්නේ නැති ඇමති මණ්ඩලයක් වගේම 159ක් වූ මන්ත්‍රීවරු ගෙවී ගිය අවුරුදු දෙකට පුද්ගලිකව මොනවාද අරගෙන තියෙන්නේ. රජයේ සේවකයන්ට පුද්ගලික අංශයේ සේවකයන්ට පඩි වැඩි කරමින් සියලුම පාසල් දරුවන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ ගන්න රුපියල් 6000/-ක් ලබා දෙනවා. වැඩිහිටි ආධාර, පොහොර සහනාධාර, ඉන්ධන සහනාධාර, සෞඛ්‍ය ආධාර ඇතුළු බොහෝ දේවල් ජනතාවට ලබා දෙනවා. නමුත් ඒ කිසි දෙයක් මේ වේදිකාවේ ඉන්න කිසිකෙනෙක් ලබාගෙන නැහැ. වාහනයක් නැති මන්ත්‍රීවරුත් මේ වේදිකාවේ ඉන්නවා. මේ රටේ ජනතාව වෙනුවෙන් මගමානවක සංස්කෘතිය අනුව යමින් දේශපාලනය කරන එකම පක්ෂය සහ ආණ්ඩුව ජාතික ජන බලවේගයයි.
විදේශ ආයෝජන වැඩියි; සංචාරක කර්මාන්තයෙන් ඉහළ ම ආදායම්
ඒ වගේම මේ රටේ දේශපාලනයෙන් ජාතිවාදය අවසන් කළා. රාජ්‍ය අනුග්‍රහයෙන් ජාතිවාදය දියත් කර තිබුණේ. සරෝජා පොල්රාජ් සහෝදරිය, අක්‍රම් ඉලෙයාස් සහෝදරයා, අජන්ත ගම්මැද්ද සහෝදරයා වගේ දෙමළ මුස්ලිම් සහෝදරත්වය ඉතිහාසයේ පළමු වැනි වතාවට මාතර දිස්ත්‍රික්කයෙන් එක පක්ෂයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. අක්‍රම් ඉල්ලෙයාස් සහෝදරයා පළමු වතාවට පාර්ලිමේන්තු ගියත් අද නියෝජ්‍ය බලශක්ති ඇමතිවරයායි. මේ රටේ පොදු ජනතාව ඉල්ලන්නේ කිසිම ජාතිවාදී බෙදීම් නැති මේ සංස්කෘතිය නොවෙයි ද? අපට මේ ආර්ථිකය ගොඩනගන්න දැනුම අවබෝධය සහ අත්දැකීම් නැති බව පිරිසක් කීවා. ගෙවී ගිය කාලය තුළ ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වගේ ජාත්‍යන්තර සංවිධාන මෙන්ම කොමියුනිස්ට් පක්ෂ පාලනයක් තිබෙන චීනය, ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, ජපානය වැනි රටවල් සමග ගනුදෙනු කරමින් රටේ ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. අපනයන ආදායම වැඩිකර විදේශ ශ්‍රමිකයන් උපයන ආදායම් වැඩිකර තිබෙනවා. විදේශ ආයෝජන වැඩි කරගෙන සංචාරක කර්මාන්තයෙන් ඉහළම ආදායම් ලබා ගනිමින් ඉන්නවා. අපි බලය ගන්න අවස්ථාව වන විට ලෝක වෙළඳපොළේ පැවති තෙල් මිල වගේ දෙගුණයක් පමණ ඉහත ගිහින් තිබියදී, අපි ඒ බර ජනතාවට දෙන්නේ නෑ. දැන් දවස් දෙකක් එක දිගට වැස්න ඇද හැලුනත් යටවෙමින් තිබූ මාතර බොහෝ ප්‍රදේශ මේ වන විට යට නොවෙන ආකාරයෙන් නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මිලියන 1200ක් වෙන්කර තිබෙනවා. අපි බලයට පත්වූ පසු අද වෙනතුරු නිල්වලා ගංවතුරක් මාතරට නැහැ.
සිංහරාජයට යන සංචාරකයන් හට ආකර්ෂණිය කලාපයක්
ජල කළමනාකරණය සිදුකර ගංවතුර පාලනය කර තිබෙනවා. 2026 වසරේ දී ව්‍යාපෘති 2891ක් මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන රුපියල් මිලියන 4500කට වැඩියෙන් යොදවනවා. ප්‍රජා ශක්ති ව්‍යාපාරයේ ව්‍යාපෘති 1643කට මුදල් වෙන්කර තිබෙනවා. අකුරැස්ස ආසනයට විතරක් ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි 109ක් වෙන්කර තිබෙනවා. 2026දී දිස්ත්‍රික්කයේ මහා මාර්ගය සහ අතුරු මාර්ග හදන්න රුපියල් මිලියන 3341ක් වෙන්කර තිබෙනවා. මාතර පරිපාලන නගරය කොටවිලට ගෙන යාමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් තිබෙනවා. දැල්ඔලුකන්ද සංචාරක කලාපයක් ලෙස හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් යෝධ නිදිකුම්බා තර්ජනය අවසන් කර පරිසරය සුරක්ෂිත කරනවා. සිංහරාජයට යන සංචාරකයන් හට ආකර්ෂණිය කලාපයක් ලෙස මාරඹ දියුණු කරනවා. දිස්ත්‍රික්කයක් හැටියට පොදුවේ ව්‍යාප්ත වුණු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙතනට එකතු වී අපව ධෛර්යමත් කරන ආදරණීය අම්මලා, තාත්තලා, සහෝදර සහෝදරියන් ලබා ගත් ජයග්‍රහණ මේවා. ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් නොවෙන්න මේ කිසිදු ජයග්‍රහණයක් ජනතාවට ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අහන්න වෙන්නේ බේබිලා හොරකම් කරන, මංකොල්ල කන, පාතාලය රජ කරවන, මත්ද්‍රව්‍ය ව්‍යාප්තියක් ගැන. දැන් ඒ යුගය අවසන්. ඔබ හැමදෙනාගේ ශක්තියෙන්, ඔබ හැමදෙනාගේ සුරතින් සහ ආශිර්වාදයෙන් ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ ප්‍රතිඵල ඒවා. ජනතාවගේ ආණ්ඩුවක් හැටියට අප ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඔබට වගකීම සඳහා ආසන සහ දිස්ත්‍රික් මට්ටමේ පරීක්ෂාවට ලක්කිරීම අපේ වගකීම සහ වගවීමයි. මේ ක්‍රියාමාර්ග හමුවේ ඔවුන් සලිත වෙලා.
සමාජය පරිවර්තනය කිරීමේ අභියෝගය ජයග්‍රහණයෙන් කෙළවර කරනවා
ඔවුන් හිතන්නේ ශක්තිය තිබෙන්නේ මාධ්‍ය හමු පැවැත්වීම සහ පාර්ලිමේන්තුවේ උදය කාලයේ බෙරිහන්දී කෑ ගැසීමෙන් බවයි. ඔවුන්ට කළ හැක්කේ එපමණයි. ජනතාවට වගකියන, මහජන ආණ්ඩුවක් හැටියට අපි නිරන්තරයෙන් ගොවි, කම්කරු, ධීවර, කාන්තා, තරුණ ප්‍රජා සමග සංවාද කිරීමේ වගකීමක් අපට තිබෙනවා. ඔබේ සහයෝගය නැතිව මේ වැඩපිළවෙළවල් ගමේ ක්‍රියාත්මක කර, සමාජය පරිවර්තනය කිරීමේ අභියෝගය ජයග්‍රහණයෙන් කෙළවර කරනවා. දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයේ නායක නෙල්සන් මැන්ඩෙලා ප්‍රකාශ කර තිබෙන්නේ, “එය සිදු කරන තුරු, හැමවිටම එය සිදු කළ නොහැක්කක් සේ පෙනී යයි.” කියලා. අභියෝගයක් සාර්ථකව අවසන් කරන තුරු කළ නොහැකි යයි පෙනුණු, අපි හමුවේ පැවති අපි බාරගත් අභියෝග සාර්ථකව ඉටුකළ ජනතාවාදී ආණ්ඩුවක් මේක. ෆිදෙල් කැස්ත්‍රෝ සහෝදරයා කී විදිහට “හැකි නම් කරමු, නොහැකි නම් කෙසේ හෝ කරමු” යන අධිෂ්ඨානයෙන් ජයග්‍රහණය කරා යන බවට ඔබ හමුවේ සපථ කරනවා.''




newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
