Image

(සජිත් ගේ දේශපාලන සතිය) - සජබ - එජාප සමගි කළ මෙහෙයුම

(සජිත් ගේ දේශපාලන සතිය) - සජබ - එජාප සමගි කළ මෙහෙයුම

ශ්‍රී ලංකාවට නිදහස දිනා දුන් පක්ෂය කුමක්දැයි කියා ඇසූ සෑම විටක ම කිසිම කුහකත්වයකින් තොරව ලක්ෂ 220ක් පුරවැසියන්ගේ මුවඟට නැගෙන්නේ UNP යන වචන තුන ය.

UNP ය එහෙමත් නැත්නම් එක්සත් ජාතික පක්ෂයට දැන් අවුරුදු 80ක්.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ දර්ශනය ලෝක ප්‍රවණතාවලට  ගැළපෙන ලෙස පුළුල් කරමින් 1978 දී මේ රටේ දේශපාලන, ආර්ථික විප්ලවයක් කළ JR ජයවර්ධන නම් වූ පළමු විධායක ජනාධිපතිවරයා ගේ 120 වන ජන්ම දිනය සැප්තැම්බර් 17 වනදාට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සංවිධානය කර තිබූ, “ජේ.ආර්. ආණ්ඩුකරණය හා මැද මාවත -  දේශපාලන කථිකාව” මේ රටේ දේශපාලන අනාගතය වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යයක් වේයැයි කිසිවෙකුත් නොසිතන්නට ඇත.

 

සජබ - එජාප සමගි කළ මෙහෙයුම

WhatsApp Image 2026 09 20 at 6.31

සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් කිසිදා එක් නොවන බවට මතවාද සමාජ ගතකළ සියල්ලන් පරාජය වූ දිනයක් පසුගිය බ්‍රහස්පතින්දා (17) එළැඹියේ ය. ඒ රනිල් - සජිත් එකම වේදිකාවක සිට දෙපිලේ එකමුතුවක් ගැන කතා කරමින් දුන් ඓතිහාසික සහතිකය නිසා ය.

මෙහිදී සභාව අමතමින් සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ…

“අපි සතුටු වෙනවා. සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එක වේදිකාවක එකතුවීම පිළිබඳව. අපි හැමෝම දන්නවා අපි ඉතාමත් තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට මුහුණදෙමින් සිටින්නේ. රටට විකල්පයක් හොයන මොහොතක සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එකට එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ ජනතාවාදී ප්‍රගතිශීලී ප්‍රතිපත්ති රාමුවක් තුළ කියන එක අද මේ රටේ ලක්ෂ 220 ජනතාවට අපි ප්‍රකාශ කර සිටිනවා.” කියා ය.

“මේ අවස්ථාවේදී සමගි ජනබලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එක වේදිකාවකට අරගන්න ගත්ත පියවර ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕන.”  කියමින් සජබ - එජාප එකමුතුවට සුබපැතුම් එක් කළ රනිල් ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 80 වන සංවත්සරයට සජබයේ සියල්ලන්ට ආරාධනා කළේ ය. නායකයින් දෙදෙනා ඉතා සුහදශීලී අයුරින් අදහස් හුවමාරු කරගන්නා සැටි සජබ - එජාප බොහෝ පිරිසක් බලා සිටි අතර ඔවුන් මේ එකමුතුව ගැන දැඩි උද්‍යෝයකින් අත්පුඩි ගසමින් ප්‍රතිචාර දක්වන අයුරු ද දැකගත හැකි විය. මේ දිනය උදාකර ගන්නට වසර ගණනක් තිස්සේ, මාස ගණන්, සති ගණන්, දින ගණන්, පැය ගණන් විවිධාකාරයේ සැලසුම් දියත් කළ පිරිසක් අප්‍රසිද්ධියේ සිය යුතුකම් කොටස ඉටුකළ අයුරු රට දැන සිටියේ නැත.

සජබ - එජාප සමගියක් ගැන දෑස් දල්වා බලා සිටි, ප්‍රාර්ථනා කරපින්නාගෙන සිටි පාක්ෂිකයින්ගේ ඒ බලාපොරොත්තුව මල්ඵල ගැන්වීම එක රැයකින් සිදුවූවක් නොවිණි. එය අවස්ථා ගණනාවකදී පක්ෂ දෙකෙහිම ජ්‍යේෂ්ඨයින් එක්ව සිදුකළ සාකච්ජාවල කූටප්‍රාප්තියක් විය. සජබ - එජාප එකමුතුවක් ගැන කතාබහ 2024 මහමැතිවරණයටත් පෙරට දිවයන්නක් බව ඔබ දැන නොසිටින්නට ඇත. එහෙත් රට ම නොදන්නා ඇත්ත දැන් රට ම දැනගත යුතුයැයි අපට සිතේ.

 

2024 මහමැතිවරණයටත් පෙර පක්ෂ දෙකේ සමගියට මුල්පියවර තබන්නේ හුණුපිටිය ගංගාරාම පුදබිමේ දී වූ අතර පළමු හමුවීමට රනිල් පාර්ශවයෙන් සාගල රත්නායකත්, සජිත් පාර්ශවයෙන් ලක්ෂ්මන් ෆොන්සේකාත් සහභාගීවී තිබුණි. එසේ ඇරඹි සජබ - එජාප සමගියේ සාකච්ජා වෙනුවෙන් බොහෝ පිරිසක් තිරය පිටුපස සිට තම දායකත්වය ලබාදී තිබුණි. රංජිත්, තලතා, කබීර්, වජිර, අකිල, නවීන්, රුවන්, සාගල සහ ලක්ෂ්මන් අවස්ථා ගණනාවක දී විවිධ දෑ පිළිබඳ සිදුකළ සාකච්ජා සහ එකඟතාවල අවසානය පසුගිය 17 වනදා රනිල් - සජිත් එකම වේදිකාවකට ගෙන ඒම තෙක් වර්ධනය වී තිබුණේ ඉතා රහසිගත ලෙසින් ය. මේ වැඩසටහන නිමා වෙද්දී සමගියේ සහ එජාපයේ නියෝජිතයින් එකිනෙකා වැලඳ ගනිමින් සතුට ප්‍රකාශ කරද්දී, කබීර් අසළට පැමිණි තලතා විමසුවේ…

“කොහොමද කබීර් අයියා” කියා ය. “හොඳයි හොඳයි, දැන් අපේ ලොක්කයි, ඔයාගේ ලොක්කයි කියපු දේත් එක්ක අපිට හොඳට ම හොඳයි. දැන් ඉතිං දිනන ගමන තමයි යන්න ඕන.” කබීර් තලතාට සිනා සෙමින් උත්තර දුන්නේ ය.

 

මාතර බුද්ධික තිරය පිටුපසට විසි කළා ද, විසි වුණා ද?

WhatsApp Image 2026 09 20 at 6.31.09 AM

සජබ - එජාප, සමගියේ සාකච්ජා සාර්ථකවීමෙන් පසු සජිත් - රනිල් එකම වේදිකාවකට ගෙන ඒමට සාගල රත්නායකත්, ලක්ෂ්මන් ෆොන්සේකාත් සුභ නැකතක් බලමින් සිටියේ ය. ඒ අතර තුර දිනක් සජිත් සහ ලක්ෂ්මන් හමුවූ බුද්ධික පතිරණ තමන් ඉදිරියේ දී සිදු කරන්නට යන වැඩසටහනක් ගැන දැනුවත් කළේ ය.

“සර්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ 120වන උපන්දිනය සැප්තැම්බර් 17 අපි, මහාමාන්‍ය ඩී.එස්.සේනානයක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය ඒකට විශේෂ සැමරුමක් සහ “ජේ.ආර්.ආණ්ඩුකරණය හා මැදමාවත” කියලා දේශපාලන කථිකාවතක් සංවිධානය කරන්න බලාගෙන ඉන්නේ… අපේ කට්ටියට මේක ලංකාවම හොල්ලන වැඩක් කරන්න ඕනලු.”

ඉතිං මොකක්ද ඔයාලගේ අදහස… සජිත්, බුද්ධිකගෙන් ඉතා ඕනෑකමින් විමසී ය. ඊට මැදිහත් වූ ලක්ෂ්මන් ෆොන්සේකා අපූරු යෝජනාවක් කළේ තමන් සහ සාගල දින ගණනක් බලාසිටි නැකත පැමිණි ඇති බව හැඟී ගිය නිසා විය යුතු ය.

“අපි ඔය වැඩේට, සජිතුයි, රනිලුයි දෙන්න ම ගෙන්නමු.”

තිදෙනාගේ ම එකඟතාවෙන් රනිල්ට ආරාධනා කිරීමේ වගකීම බුද්ධිකට පැවරුණේ සුබ නැකත උදා කළ මගුල් ගෙදර හිමිකරු බුද්ධික වීම නිසා ය. ඒ අනුව රනිල් වික්‍රමසිංහ හමුවූ මහාමාන්‍ය ඩී.එස්.සේනානායක දේශපාලන පීඨයේ සභාපති බුද්ධික පතිරණ මේ සමගියේ වේදිකාවට නායකයින් දෙදෙනා ගොඩ කිරීමේ මෙහෙයුම ආරම්භ කළේ ය.ඊට සමගි ජනබලවේගය පාර්ශවයෙන්, රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම්, තිස්ස අත්තනායක, හර්ෂ ද සිල්වා තම පූර්ණ සහාය දක්වද්දී, එජාපය පැත්තෙන් තලතා අතුකෝරළ, වජිර අබේවර්ධන, සාගල රත්නායක, නවීන් දිසානායක, රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම් සහ රවී කරුණානායක තම පූර්ණ සහයෝගය බුද්ධිකට ලබාදී තිබුණි.

ලක්ෂ්මන් ෆොන්සේකා සමඟ එක්ව 17 වනදා උත්සවය සැලසුම් කළ බුද්ධික එම අවස්ථාවේ තිරය පිටුපසට වී සිටියේ ඇයි…? සජිත් බුද්ධිකගෙන් විමසුවේ එදා රාත්‍රියේ ය.

“බුද්ධික වැඩේ හොඳට සිද්ධ වුණා… ඒත් ඔයා හැංගිලා වගේ හිටියේ මොකද? මම කීහිපසැරයක් ඔයාව බැලුවා. මම අර සිංදුව එළිදක්වන තැනදිත් ඔයාට කතා කළා. මොකෝ මොකක් හරි අවුලක් ද?”

“අනේ නෑ සර්, මට ඕන උනේ වැඩේ ඉස්මූත්ලි යන්න. මම තිරේ පිටිපස්සේ හිටියේ වැඩේ හරියට වෙන්න ඕන නිසා, මොකද අපේ ඇකඩමියේ ළමයි ටිකටත් මම පේන්න ඉන්න ඕන, නැත්නම් එයාල තීරණ ගන්න තාම දෙපාරක් හිතනව නේ… ඒකයි මම පස්සට වෙලා හිටියේ. වැඩේ හොඳටම තිබුණා ඒක නිසා හැමෝම සතුටින් ඉන්නේ සර්. මට ඕන වුණේ මේ මගුල් ගෙදර මගේ ගෙදර ගන්න ඉතිං ඒක හොඳටම වුණා”

 

22 ට එරෙහිව 24

WhatsApp Image 2026 09 20 at 6.31.06 AM

සජිත් පසුගිය සතිය පුරා බොහෝ වෙහෙසුනේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පුළුල් පෙළගැස්මක් ගොඩනැගීමට ය. 22වන සංශෝධනය පරාජය කරන ලොකු ම වෙඩිමුරය පත්තු කිරීමේ සටනට සජිත් අවතීර්ණ වීමෙන් පැහැදිලි වන්නේ  ඒ වෙනුවෙන් 24වන දා දැවැන්ත විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට ගොඩනැගීම ඔහුගේ සැලසුම බව ය. සජබ සංවිධායකවරුන්, පළාත් පාලන නියෝජිතයින් සහ පක්ෂයේ සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා කළ සජිත් ගේ අපේක්ෂාව වී ඇත්තේ අතිවිශාල ජනකායක් 24 කොළඹට කැඳවීම ය.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල පළාත් පාලන මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුන් හමුවූ සජිත් කියා සිටියේ…

“අපි කරන්නේ මේ දේශපාලනයක් නෙමෙයි. අපි මේ කරන්නේ රටේ ජනතාව ගේ අනාගත නිදහස තහවුරු කිරීම වෙනුවෙන් වූ අරගලයක්. ඒ නිසා මේක සමගියේ විතරක් නෙමෙයි, ප්‍රජාතන්ත්‍රවාදය අගයන,, නිදහස තවදුරටත් රට තුළ තිබිය යුතු බව පිළිගන්නා හැමෝගෙම වගකීමක්. අපි දේශපාලන වාසියක් මේ තුළින් ගන්න අපේක්ෂා කරන්නේ නෑ. මේක අපි හැමෝගේ ම වගකීමක්. ඒ වගකීම ඉටුකරන්න ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලිය පරාජය කරන්න ලබන 24 වැනිදා පාර්ලිමේන්තු වටරවුමට හැම කෙනෙක්ම එන්න..”

සමගි නීතීඥ සංගමය, සමගි රණවිරු බලවේගය සහ දේශීය වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ඇතුළු සංවිධාන කිහිපයක් ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසව පසුගිය සතිය හමුවිය.

WhatsApp Image 2026 09 20 at 6

එහි දී වෘත්තීය සමිති නියෝජිතයින් පෙන්වා දුන්නේ…

“22 න් වෙන බලපෑම ගැන ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරල තියෙන්නේ අපි විතරයි සර්. අපි අර පටන් ගත්ත මහජන පෙත්සම නිසා නගරවල ජනතාවට මේකේ බලපෑම තේරිලා තියෙනවා. වෙන අය එක එක තැන්වල කියෙව්වට 22වන සංශෝධනයෙන් සමාජයට වෙන බලපෑම ගැන මිනිස්සුන්ට කියල දෙන්න ඵලදායී පියවරක් අරන් නෑ. අපි කරපු දේ විතරයි ගම් මට්ටමට ගිහින් තියෙන්නේ. සර්, තවදුරටත් මිනිස්සු මේ ගැන දැනුවත් කරන්න පියවර ගන්න පුළුවන් නම් හොඳයි”

එය හොඳ යෝජනාවක් බව කියා සිටි සජිත් අවධාරණය කළේ ''ආණ්ඩුවට එරෙහිව ගොඩනැගිලා තියෙන ජනතා විරෝධය අපි 24 වෙනිදට හරියට'ම පෙන්නමු. ඊට පස්සේ බිම් මට්ටමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරමු. ඒක හොඳ යෝජනාවක්.''

ඒ සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමේ වගකීම වෘත්තීය සමිති වෙත පැවැරීමටද සජිත් කටයුතු කළේ ය.

 

අගමැති නිහඬයි - රට ම අනාථයි

WhatsApp Image 2026 09 20 at 6.31.05 AM

22වන සංශෝධනයට මේ වන විට මාලිමාව අභ්‍යන්තරයෙන්ම විරෝධයක් එල්ල වී ඇති බවත්, අගමැති හරිනි අමරසූරිය, නීතිඥ උපුල් කුමරප්පෙරුම යනාදි වෘත්තිකයින් අද නිහඬවී ඇති බවත් සමගි ජනබලවේගයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ පැවසුවේ පසුගිය සතියේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ය.

“අපි පහුගිය දවසේ දැක්කා මාලිමාවේ ලාල් විජේනායක එළිපිටම 22ට විරුද්ධ වුණා. ඒ වගේම උපුල් කුමරප්පෙරුමලා, හරිනි අමරසූරිය දැන් නිහඬ පිළිවෙතක ඉන්නේ. සමහරවිට ඔවුන්ට තමන් ගේ බලනහර ගැන බියක් ඇති වෙලා වෙන්නත් පුළුවන්.

හරිනි අමරසුරිය අගමැති වුණත් 22 ගැන වචනයක් කතා කරන්නේ නෑ. කොණ්ඩේ මල්ගහගෙන තැන තැන ගියත් ඇය 22 ගැන කතා කරන්නේ නෑ. ඇත්තට ම මේකෙන් අපිට තේරෙන්නේ අගමැතිනියත් ලොකු පීඩනයකින් ඉන්න බව. ඒත් මේ රටේ ජනතාව මාලිමාවට ඡන්දය දුන්නේ ජේ.වී.පී. එක ගැන විතරක් විශ්වාසය තියලා නෙමෙයි. හරිනිලා වගේ අය ගේ එකතුවීමත් එක්කයි ජනතා විශ්වාසයක් ගොඩනැගුණේ. එහෙම නම් රට අඳුරේ ගිල්වන 22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන තමන්ගේ හදවතේ උපදින අදහස ප්‍රකාශ නොකර ඉන්න අගමැතිවරිය විදිහට හරිනිට අයිතියක් හෝ අවස්ථාවක් නෑ. හරිනි අනිවාර්යෙන්ම තමන් ගේ ස්ථාවරය රටට ප්‍රකාශ කළ යුතුම යි.”

මෙහි දී මාධ්‍යවේදියකු විමසා සිටියේ, 22වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජනබලවේගයේ මැදිහත්වීම ප්‍රමාණවත් නොවන බවටත්, එය සජිත් - අනුර ඩීල් එකක් බවටත්, සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කරන ප්‍රවෘත්තියට හේතුව කුමක්ද යන්න ය.

විපක්ෂ නායක සජිත්, පෙර දිනයේ තමන්ට ලබාදුන් මුද්‍රිත පොතක් පෙන්වමින් වරුණ ඊට පිළිතුරු දුන්නේ ය.

“මේ පිටු 78 පොත විපක්ෂ නායකතුමා මට දුන්නේ ඊයේ. 22ට එරෙහිව සමගියේ මැදිහත්වීම ප්‍රමාණවත් නෑ කියලා පිරිසක් කැම්පේන් එකක් කරනවා මමත් දැක්කා. ඒ අයට ජනබලයක් තියෙනව ද කියලා අපි මුලින්ම බලන්න ඕන. පාර්ලිමේන්තු නියෝජනයක් ලබාගත නොහැකිවූ සහ ජනතාව සහමුලින් ම ප්‍රතික්ෂේප කරපු පරාජිත පුද්ගලයින් විසින් මෙම මතවාදය ව්‍යාප්ත කරන බව අපිට පේන්න ම තියෙන යථාර්ථය. 22වන සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දෙමින් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේ මැයි මාසෙ 06 වැනිදා. නමුත් එහෙම විවාදයක් දෙන්න තරම් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදි වුණේ නෑ. ඊට පස්සේ අපි පක්ෂයක් ලෙස මැදිහත් වෙමින් මේ සංශෝධනයට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ සමග ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ජා කරලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළා. 22වන සංශෝධනයේ ඇති බලපෑම පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරන්න කියලා අපි නීතිඥ සංගමයට ඉල්ලීමක් කළා. නමුත් ඒකටත් ආණ්ඩුව ඉඩ දුන්නේ නෑ. අධිකරණය හමුවේ ඇති ගැටලු විසදිමේ යාන්ත්‍රණයක් සකස් කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හදන්නත් යෝජනා කළේ අපි. ගමක් නගරයක් පාසා ගිහින් මේ අනතුරුදායක තත්ත්වය ගැන ජනතාව දැනුවත් කරමින් මහජන පෙත්සමක් අත්සන් කරන්න මූලික වුණෙත් අපි. නීති ක්‍රියාමාර්ගවලට දායකත්වය වගේම නායකත්වය දුන්නෙත් සමගි ජනබලවේගය. ඒ වගේම 22ට එරෙහිව විරෝධතා පැවැත්වුවෙත් අපි. ආණ්ඩුවේ ඒකාධිපති ගමන ගැන ජාත්‍යන්තර සංවිධාන ගණනාවක් දැනුම්වත් කරන පියවර ගත්තේ අපි. ඒ නිසා අපි මේ වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙන බව මේ වාර්තාවේ පිටු 78 කියෙව්වා නම් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්.”

 

සජබ - එජාපය එක්වීමට කකුල් මාට්ටු දමන කල්ලියක්

WhatsApp Image 2026 09 20 at 6.31.04 AM

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වීමේ ජනතාවාදී අපේක්ෂාව ඉටුවනවා දැකීමට නොහැකි අවස්ථාවාදී සහ පරාජිත කල්ලියක් විපක්ෂය අතර ඇති වන එකඟතා කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට නිරතව සිටින බව සමගි ජනබලවේගයේ දිවුලපිටිය, සම සංවිධායක සංඛ චන්දිම අභයවර්ධන පසුගිය සතියේ පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ය.

“මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුවට අභියෝගයක් වෙන්න නෙමෙයි. මේ අය ගේ එකම අපේක්ෂාව සමගිය බෙදීම. ගොඩනැගෙමින් ඇති එජාප - සමගි එකමුතුව කඩාකප්පල් කිරීම. 22 ගැන කතා කරන්න විපක්ෂයේ පක්ෂවලට පොදු වේදිකාවක් හදලා දුන්න සජිත්ට ම මේ අය පහර දෙමින් ඉන්නේ ඇයි? ඇත්තට ම දැන් රටේ ප්‍රබල ම චරිතය සජිත්; සජිත් වැට්ටුවෙ නැත්නම් මේ අයට ගමනක් නෑ. ඒ අය එදත් එහෙමයි. අදත් එහෙමයි. අපි දැක්කා පොළොන්නරුවේ පැවැති ගොවීන් නොසිටි ගොවිජන රැලියේ දී ජනාධිපතිවරයා ගේ වැටීමේ තරම කොච්චරද කියලා. ඒ අයගෙ ම ඔත්තුකරුවෝ දැනටත් මේ කඩාවැටිම ගැන ජනාධිපතිවරයා දැනුවත් කරලත් ඇති. ඒ වගේ ම විපක්ෂයේ ඉන්න කල්ලියක්, ඒ කල්ලියේ සල්ලිවලට ලියන රළලාත්, සමගියට පහරදීම වෙනුවට ආණ්ඩුවේ මර්දනකාරී, ඒකාධිපති වියරුව හමුවේ ගොඩනැගෙමින් තිබෙන ගින්නෙන් ජනතාව බේරගන්නේ කෙහොමද කියලා කල්පනා කර බැලිය යුතුයි.”

දේශපාලන ව්‍යාපාරයක් ලෙස සමගිය 22ට එරෙහි සටනට නායකත්වය ලබාදීලා අවසන් බවත්, එහි වාසිය සහ එහි පීතෘත්වය ලබාගන්න තවත් පිරිසක් දැන් උත්සාහ ගනිමින් සිටින බවත් සංඛ අභයවර්ධන අවධාරණය කළේ ය.

 

සජිත් හමුවූ ජර්මානු ටීම් එක

WhatsApp Image 2026 09 20 at 6.31.03 AM

ජර්මානු බුන්ඩස්ටාග් දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය 15වන දා විපක්ෂ නායක කාර්යාලයේ දී සජිත් හමුවුණේ කරුණු කිහිපයක් මුල්කරගෙන ය. ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කරගැනීමත් ඒ ඔස්සේ ගෝලීය වශයෙන් මුහුණදීමට සිදුව ඇති ගැටලුවලට විසදුම් සෙවීමත් ජර්මානු කණ්ඩායමේ අපේක්ෂාව වී තිබුණි. ඊට එකඟත්වය පළ කළ සජිත්ට ස්තූතිය පුද කළ  ජර්මානු බුන්ඩස්ටාග් දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානී නික්ලස් කේප්, ඉදිරියේ දී සිය කණ්ඩායම සහ විපක්ෂ නායකවරයා අතර සමීප සබඳතාවක් පවත්වනු ඇති බවට සහතිකයක්ද ලබා දුන්නේ ය.

 

FinTech Summit මුලසුන සජිත්ට

WhatsApp Image 2026 09 20 at 6.31.0

2026 ශ්‍රී ලංකා මූල්‍ය තාක්ෂණ සමුළුව (Sri Lanka FinTech Summit) දින දෙකක් පුරා පැවැත්වුණේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ය. ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමකයින්, මූල්‍ය ආයතන, තාක්‍ෂණ නායකයින්, ආයෝජකයින් සහ ෆින්ටෙක් නවෝත්පාදකයින් සහභාගී වී සිටි මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය.

එහිදී සමුළුව ඇමතූ සජිත් කියා සිටියේ, ශ්‍රී ලංකාව දකුණු ආසියාවට සහ ඉන්දියානු සාගර කලාපයට විශ්වාසදායක මූල්‍ය තාක්ෂණ දොරටුවක් ලෙස ස්ථානගත කළ යුතු බව ය.  ඩිජිටල් පරිවර්තනය සඳහා දිගුකාලීන ජාතික ප්‍රවේශයක් හදුන්වාදීමේ වැදගත්කමත් පැහැදිලි කළ සජිත්, ඩිජිටල් මූල්‍යකරණය තාක්‍ෂණය භාවිතා කිරීමෙන් ඔබ්බට ගොස් වැඩි ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව, මූල්‍ය ස්ථාවරත්වය, සයිබර් ආරක්ෂාව සහ පුද්ගලික දත්ත ආරක්ෂාව ශක්තිමත් කිරීම යන කරුණු සැලකිල්ලට ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේ ය.

WhatsApp Image 2026 09 20 at 6.31.02 AM

සමුළුවට සමගාමීව පැවැති සංවාදයේ දී ව්‍යාපාරික පරිසරය බිඳවැටීම සහ එමගින් සමස්ත ආර්ථික පද්ධතියට එල්ලවන බලපෑම ඔබ දකින්නේ කෙසේ ද යන්න පිළිබඳ ව්‍යාපාරික ප්‍රජාව සජිත් ගේ මතය විමසා සිටියේ ය.

ඊට ප්‍රතිචාර දැක්වූ සජිත් කියා සිටියේ…

“ශ්‍රී ලංකාවේ ආර්ථිකයට හා සමාජ තත්ත්වයන්ට අහිතකර බලපෑම් 05ක් හඳුනාගන්න පුළුවන්. එකක් තමයි පාස්කු දින එල්ලවූ අන්තවාදී ප්‍රහාරය. දෙවනුව කොරෝනා වසංගතය. ආර්ථිකය බංකොලොත්වීම හා මෑතකදී ඇති වූ දිට්වා සුළිකුණාටුවේ බලපෑම. වර්තමානයේ මැද පෙරදිග උද්ගතව ඇති යුද තත්ත්වයත් අපි සලකා බැලිය යුතුයි. මෙවැනි ආකාරයේ බලපෑම් එල්ල වුවත් ඉන් සිදුවන සෙසු බලපෑම් අවම කරගන්න හෝ සැලස්මක් අපිට තිබුණේ නෑ. ඒ නිසා ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්වුණා‍”

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායන්ගෙන් අපේ ආර්ථිකයට ලැබෙන දායකත්වය 52%ක්. නමුත් වර්තමානයේ ඒ කර්මාන්තකරුවන්ට රැකවරණයක් නෑ. ව්‍යවසායකයෙකුට සහන පොලියට මූල්‍ය සහනයක් හෝ ලබාගන්න පුළුවන් ක්‍රමවේදයක් රට තුළ නිර්මාණය වෙලා නෑ. මේ අනාරක්ෂිතතාවය මේ රටේ ආර්ථිකයේ පිරිහීමට විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා” 

 

මෝදිට සජිත්ගෙන් සුබපැතුම්!

WhatsApp Image 2026 09 20 at 6.31.01 AM

සියලු කටයුතු හමුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනයට සුබපැතුම් පිරිනැමීමට ද සජිත් පියවර ගත්තේ ය; ඒ, සිය X ගිණුම හරහා ය.

නිරෝගීභාවය, සතුට සහ අර්ථවත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සජිත් සිය සටහන අවසන් කර තිබුණේ.

“Have a wonderful birthday, Prime Minister.”

 

මම - බංගලා හන්දියේ ලියුම්කරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න